Sunday, 11 June 2017

..කෙටිම කෙටි කතාවක්.



පෑලියගොඩ අලුත් පාලම උඩ බස් නැවතුමේ බෝ ගහ යට කියන්නේ ගිනි ගහන රස්නේ තිබුණත් මහා සැනසීමක් සිසිලසක් දැනන තැනක්.මම හැමදාමත් ඔතනට ආස කළේ ඒ නිසාමයි..වැඩ ඉවර වෙන වෙලාව ටිකක් වෙහෙසකාරී වුණත් දවල් දෙකට විතර ඒ බෝ ගහ ළඟ මට දැනුනේ මහා ශාන්තවත් බවක්..
එදා සඳුදා දවසක්,වෙනදා වගේම තවත් එක සඳුදාවක් නෙවෙයි ඒ..මම කාලයක් තිස්සෙම පෙරුම් පුරාගෙන හිටිය දවසක්,හිතම හිරිවට්ටපු මුලු ජිවිතේම කණපිට පෙරලුව හැඟීමට උපත දුන් ජීවමාන රුව තමන් ගේ ඇස් පනාපිටට එන දවසක්...
'මම අද එනවා..රෑ 10 වෙද්දි මම එනවා..'
මට ඕන වුණා එයා එන දවසට මොනවා හරි අරගෙන යන්න​.මට ඕන වුණේ නෑ එයා කැමති මොනවටද අහන්න​,ඒත් මට ඕන වුණා මම ආසම දෙයක් එයාට දෙන්න​..එදා ඉඳලම එහෙමයි,තව කෙනෙක්ට තෑග්ගක් අරන් දෙනකොට මට පුරුද්දක් තිබ්බේ නෑ අහන්න​.මොනවද ඕනේ,මොනවටද කැමති කියලා අහන්න​,හැබැයි මම කැමති දේ අරන් දෙන්න මම පුරුදු වෙලා හිටියා.
'මම මේ පොඩි ගමනක් ආවා..මොකද අද එක්කෙනෙක් එනවනේ,මාව බලන්න එයාට පොඩි තෑග්ගක් ගන්න ආවා...'
'එක්කෙනෙක්...?'
'ඔව් ඒ එක්කෙනා තමයි ඉතින් මගේ හැමදේම​...'
'ඒත් අහන්න​,මම ඔයාට මුකුත් ගත්තේ නෑ..මොනවද ඕනා කියන්න​..'
'මුකුත් එපා..ඔයා කැමති දෙයක් ගේන්න​...'
එදා ඉඳලම අවපැහැ ගැන්වීලා තියෙන පිටු තියෙන පොත් වලට මම කැමති බව කාවිංගට කිව්වා,ඒක නිසා එයා දෙයක් ගත්තා කියනකොටත් මම දැනන් උන්නා එයා ගත්තේ එහෙම දෙයක් කියලා,ඒත් ඒක මම කොහොමත් කැමති දෙයක්,ඒත් මම දෙන්න ගත්තේ මම ආස දෙයක්.
එදා වැස්ස දවසක්,පොඩි තෑගි සාප්පුවකට ගිහි තෝරලා තෝරලා මගේ හිත ගිය පුංචි බිත්ති සැරසිල්ලක් මිළදි ගත්තා.ඒත් එක්කම ඒක ලස්සනට සරසගෙන යන්න ප්‍රංශ කුලුණ තියෙන ලස්සනම තෑගි ඔතන කොළයකුත් ගත්තා.මම කොහොමත් අයිෆල් කුලුනට කැමතියි.
මුල ඉඳලම දහසකුත් හිස්තැන් තිය තිය ඔයා ලිව්ව මේ කතාවේ හිස්තැන් වලට ගැළපෙන පද හොයන්න මහන්සි ගත්තේ නෑ.මොකද සම්පූර්ණ කතාව මම දැනගත්තම මම ඒක මොන විදියකින් දරාගන්න ඕනද කියන එක ගැන මට මහා ලොකු තේරුමක් තිබ්බේ නෑ. අත්දෑකිම් තුළින්ම අවබෝධ කරගත්ත ජිවිතය ගැන මට පැහැදිලි අරමුණක් තිබ්බේ නෑ.එක දෙයක් මම මේ හැමදේම කඩාගෙන යන්න ඕනා කියන උවමනාව මට තදින්ම තිබුණා..ඒ අතරේ ඇත්තටම මේ කතාවට මුල පුරන්නෙත් ඔයා නෙවෙයි මම මයි..ඒ කොහෙද යන කුණු කන් දක් ළඟ ඉන්න බල්ලෙකුගේ පින්තූරයකින්.එදා මම ඔය ෆොටෝ එක ඔයාට පෙන්නුවට ඊට කලින් ඉඳලම මගේ හීන වල මම ඔයාව මවාගෙන හිටියා.
'මම ඇවිත් ඉන්නේ ඔයා කොහෙද ඉන්නේ...?
'මම තවම බස් එකේ...විනාඩි පහළොවක් දෙන්න මට මම ෆ්ලෝටින් මාකට් එක ළඟට එන්නම්....'
බස් එකත් අද වෙනදට වඩා මහා හෙමින්..ඒත් මගේ හිත මේ වෙනකොටත් ෆ්ලෝටින් මාර්කට් එකට ගිහින්.දැන් හිත එතන​.පොඩිකාලේ ඉඳලම හිස් තැන් පුරව පුරව මම තනියම කියවගත්ත ජිවිතය තවමත් ලොකු වෙනසක් නෑ..වැරදි පරිච්ඡේද මතු නොවුණම නෙවෙයි ඒවයි තේරුමක් නැති තැන් ගොඩයි ජිවිතේ...ඒත් තැනින් තැන කලු පාට වුණ,සුදු පාට වුණ ප්‍රේහේලිකාවක උපකාරක අකුරක්වත් නැතිව විසඳන්න වෙලා.ඇත්තටම හිස්තැන් පුරවන එක වගේ ලේසිම නෑ.
'ඇස් දෙක​...ඒ වගේමයි...හම්මෝ ඔය ඇස් මාව කවදා හරි මරනවා...'
ඒත් මට තවමත් ඒ මූණ දිහා ඇස් දිහා කෙලින් බලන්න බෑ.මම ඉක්මණටම බෑග් එකෙන් එළියට ගත්තේ එයාට ගෙනාව තෑග්ග​.ඒත් මම දුන්න තෑග්ගට ඔයා කැමති නෑ කියලා මට දැනුනත් මම හිනා වෙලාම හිටියා,ඔයත් හිනා වෙලාම හිටියා.මම බලාපොරොත්තු වුණා තෑග්ගම ඔයා මට ගෙනත් තිබ්බා..ඒ ආ මම කිව්ව ජාතියේ පොතක්.පොතක් පිරෙන්න ලිව්වත් මදිවෙන තරමට මගේ ළඟ ආදරේ තිබුණා.
'මේ දන්නේ නැති නිසයි අහන්නේ මේ රේල් පාර යන්නේ කොහෙටද​?'
'ඒක කොටුවට යන්නේ....?
'නෑ අර තියෙන්නේ කොටුවට යන රේල් පාර​..මේක ඒක නෙවෙයි...'
'හ්ම්ම්ම්ම්ම් දන්නේ නෑ එහෙනම්...'
ඇත්තටම අපේ කතාවත් ඒ වගේ කොහේට යනවද කියලා දැනගෙන හිටියේ නෑ..හැබැයි අපේ ඇවිදගෙන ගියා...ලෝකේ ඉන්න ලොකුම ප්‍රෝඩාකාරයට රැවටුණ ගෑණියෙක්ට මෙතරමම්ම තවත් මිනිහෙක්ට ආදරේ කරන්න පුලුවන් ද​..හුඟාක් දේවල් වහන් කරන ම්නිහෙක්ට,දැනටත්...?උත්තරේ 'ඔව්'....
'අපි යමු මෙතන ඉන්න බෑ..'
මට ඔයාගේ ඇස් දිහා බලන් ඉන්න ඕනකමක් තිබ්බත් ඒ ඇස් මාව උවමනාවෙන් මඟාරින බවක් මට දැනුනා..ආදරෙයි කියලා කොච්චර ලිව්වත්,කොච්චර කිව්වත්,ඒක ඇස් දෙක දිහා බලන් කියන්න මට උවමනාව තිබ්බා..ඇත්ත​..කියද්දි කියන්නයි,ලියද්දි ලියන්නයි ආදරේ කියන්නේ ලස්සන දෙයක්,ඒත් ඇස් දිහා බලන් ආදරේ කියනවා කියන්නේ ඒක අමුතුම දෙයක්.වර්චුවල් ලෝකේ ආදර වන්තයෝ සැබෑ ලෝකේ පළවෙනි වතාවටම මුණ ගැහුණ ගමන්, චැට් වලින් කියපු දේවල් ස්කයිප් වලින් දැකපු දේවල් සේරම එකපාරටම බොරු වෙලා ගියපු අවස්ථා මම දැකලා තියෙනවා. හැබැයි එහෙම නොවුණු අවස්ථාත් දැකලා තියෙනවා.මේ අවස්ථාවත් එහෙම නොවුණූ අවස්ථාවක් කියලයි මට එදා හිතුනෙම​...
හීනෙකින්වත් නොහිතපු වෙලාවක ආදරේ හමුවෙලා හදවත හොඳටම ගිලන් වුණා. එදායින් පස්සේ දවස් කීපයක් යනකම් කාටවත් නොපෙනෙන ගන්ධබ්බ ආත්මයක් වගේ මාවත් දිගේ මම ඔහේ පාවෙලා ගියා.
ජීවිතේ ලස්සනම දවසකුයි කැතම දවසකුයි එකම දවසට වැටිලා තිබුණු බවක් මම කලින් දැනගෙන හිටියේ නෑ.
'මට කියන්න දෙයක් තියෙනවා..'
'මම දන්නවා..'
'ඒ මොකක්ද​?'
'ඔහොම පුදුමයෙන් වගේ බලන්න එපා හාවෝ..මම දන්නේ නෑ කියන්න යන දේ මොකක්ද කියලා,ඒත් කියන්න කතාවක් තියෙනවා කියලා මම දන්නවා...'
'අහන්න මොන දේ වුණත් මම හරිම ආදරෙයි තේරුණාද​...?'
'මට තාත්තා කියන්න පොඩි එකෙක් ඉන්නවා,ඒත් ඒ ඇත්තටම මම තාත්තා නෙවෙයි..ඒත් ඒ පොඩි එකා මට තාත්තා කියනවා..මමත් ඒ ළමයට ආදරෙයි...!'
'එතකොට ඒ පොඩි එක්කෙනාගේ අම්මා...?'
'ඒක මම දන්නේ නෑ..ඒත් අපි අතරේ කිසිම බැඳීමක් නෑ..එයා මගේ නෑනා..අයියා එයාව දාලා යද්දි එයාගේ බඩට මාස 06යි....එදා ඉඳන් හැම වගකීමක් මම යි කළේ..'
'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්'
'ඒත් මම ආදරේ කළේ එදා ඉඳලම ඔයාට...මට ඔයාව ඕනා..ඒත් මේ දේ ඇහැව්වම පස්සෙත් ඔයාට පුලුවන් මාව දාලා යන්න​..ඒත් මම ආදරෙයි..මට තවමත් ඕනා ඔයාව​..මම ආවේ ඔයාව එක්ක යන්න​...හිම බලන්න​...'
'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්'
'අටකාමාවට වැස්ස වැටුණම මොකද වෙන්නේ..?'
'මල් පිපෙනවා...'
'එනවද මා එක්ක යන්න​....
'මට මගේ දරුවට අප්පච්චී වෙන්න ඕනා...'
'හ්ම්ම්ම්ම් ඔව් මම එනවා.'
ඒත් මට ඇත්තටම ඕන වුණේ එතනින් පැනලා දුවන්න​..ඔලුව හැරුනු අතේ යන්න​...ඒත් මට තවමත් ඔයාගෙන් මිදෙන්න බෑ...මම මාව ඇරෙන්න කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නේ නෑ.ඒත් මම මටත් වඩා ඔයාට ආදරේ කරනවා.ඉතින් මගේ ආදරේ මට විශ්වාසයි...'
'එච්චරයි...'

-මොණරි -

6 comments:

තෑග්ග ---------- තෑගි කියලා කිව්වම එක පාරටම මතකයට එන්නේ අපේ ප්‍රපංචයට ගෝචර වෙන දෙයක්..අපිට අතට අරගෙන බල බල ඉන්න පුලුවන් දෙයක්..එහෙමත් ...