Thursday, 29 June 2017

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම,
-------------------------------------------------



නුඹ...,
දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වීදුරුවක් වගේ..
කොච්චර කල් ගෙවුණත් ඇඟ හිරි වැටෙන..
පරණ වෙන්න පරණ වෙන්න මතකය රස ගන්වන...
කාස්බර්ග් වලට ස්ට්‍රෝන්ග් වලටත් බැරි වුණා නුඹව ගෙන එන්නට....
මතකය දිගේ දුර යන්නට.....
අමු වොඩ්කා වීදුරුවකට පුලුවන් වුණා..
මතක් කර දෙන්න...
නුඹ පළමුවරට නළලත සිපගත් නුහුරු මිහිරිම හැඟුමේ රසය...
ඉතින් නුඹ ළඟ නැතත්...
මාව නුඹ ළඟට ගෙන ගියේ..
ඉඳහිටක හෝ ඒ රතු වයින් වීදුරුව...
මත් වීම තමයි ආදරය..
ප්‍රේමය මුහුවුණේ එතකොට...
ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම....

-මොණරි-

Tuesday, 27 June 2017

තෑග්ග
----------


තෑගි කියලා කිව්වම එක පාරටම මතකයට එන්නේ අපේ ප්‍රපංචයට ගෝචර වෙන දෙයක්..අපිට අතට අරගෙන බල බල ඉන්න පුලුවන් දෙයක්..එහෙමත් නැත්නම් ඒක කන්න පුළුවන් දෙයක්.ම මේ දේවල් හැරෙන්න අපිට තෑග්ගක් කිව්වම තව තව දේවල් ගැන කියන්න පුළුවන්...පවුලකට එකතු වෙන මුල්ම දරුවා අපිට අමිල තෑග්ගක් වෙන්න පුළුවන්..තමන්ගේ අම්මා තාත්තා අපිට ලැබිලා තියෙනව අමිලම තෑග්ගක් වෙන්න පුළුවන්..ඔය විදියට තෑගි ගැන කියනකොට සමහර විට ඔයාලටත් එක එක ඒවා හිතෙන්න මතක් වෙන්න පුළුවන්..

මම ඉස්සර ඉඳලම තෑගි වලට හරි කැමතියි..ඒ වගේමයි ඊටත් වඩා කැමති තව කාට හරි තෑග්ගක් දෙන්න..ඒ අය කොච්චර ළඟද දුරද කියන එක නෙවේ වැදගත්..වැදගත් අවස්ථාවකදි විතරක් නෙවේ..මට හිතුනොත් මම තෑග්ගක් අරන් දෙන්න ආයේ දෙපාරක් හිතන්නේ නෑ...එක දවසක් මම පොඩි කාලේ එ එතකොට මට අවුරුදු හයක් විතර ඇති..එච්චර පොඩි වෙලත් මට ඒ සිදුවීම තවම මතකයි..මොකක්දෝ හේතුවකට මට අවුරුදු හතරෙ ඉඳලම සිද්ධ වුණ සමහර සිද්ධීන් ගැන ලොකු මතකයක් තියෙනවා..කතාව කියන්නම්කෝ..ඉතින් එදා මගේ උපන් දිනේ දවසේ අපේ ගෙදර පොඩි පාර්ටියක් ලෑස්ති කරලා තිබ්බා.ඒත් උපන් දිනේ තිබ්බේ සතියේ දවසක නිසා අම්මලා 25 ගන්න තීරණය කළා..ඒත් අපේ නැන්දගේ දුව එයාගේ නම උදේශිකා මගේ නම සුදේශිකා..ඉතින් උදේශිකා අක්කා 24 වෙනිදා තෑග්ගකුත් අරන් උදේශ් අයියා ඒ කියන්නේ එයාගේ අයියා..නෑ කමට නම් දෙන්නම අපේ තාත්තගේ අයියගේ අක්කගේ ළමයි..ඉතින් එදා එයාලා තෑග්ගක් අරන් ආවා මට මතකයි.ඒ තෑග්ග තමයි ලිට්ල් ලයන් චොකලට් රෝල් එකක්..ඒත් මම බලාපොරොත්තු වුණේ එයාලා මොකක් හරි සෙල්ලම් බඩුවක් පැන්සල් පෙට්ටියක් එහෙම ගෙනල්ලා දෙයි කියලා..ඒත් හෙට නේ පාර්ටි එක තියෙන්නේ කමක් නෑ එයාලා හෙට වෙන තෑග්ගක් ගෙනෙයි කියලා හිතුවා.කොහොම හරි එයාලා එදා මොකවත්  ගෙනත් තිබ්බේ නෑ.මම පහුවෙනිදා උපන් දින පාර්ටියේදි හැමෝටම කේක් කපලා කැව්වට එයාලාට කේක් කැව්වේ නෑ..අම්ම එයාලත් කේක් කවන්න කිව්වම මම කිව්වේ..,

'ඇයි ඒ එයාලා මට තෑගි ගෙනාවේ නෑ නේ..'

කියලා..ඒත් පස්සේ මගේ අත අල්ලලා අම්මා එයාලට කේක් කැව්වා මට මතකයි..ඒ පොඩි කාලේ...
ඉතින් ටික ටික් ලොකු වෙන්න වෙන්න උපන් දින පාර්ටි දෙන එක ටිකක් සීමා වෙලා..උපන් දිනේ දවසට උදේම නැගිටලා එදා නිවාඩු දවසක් නම් හතර වටේ ගෙවල් වලට කැවිලි පිඟානක් අරගෙන යනවා..ඒකේ කිරිබත්,කේක් ,කෙසෙල්,බිස්කට් මාස් මෙලෝස් ඕවා තමා ගිහින් දෙන්නේ.ඉතින් ආසම කරන හරිය තමා කෑම බෙදපු ගෙවල් වලින් අර දුන්න පිඟන් තෑගි එක්කම ආයේ ගෙනල්ලා දෙන එකට...ඉතින් ඒකේ තියෙන්නේ ලස්සන පෑන්,මකන කෑලි,පැන්සල් පෙට්ටි ,පොත් ඔය වගේ එක එක දේවල් දැක්කම ඉතින් ආසයි..ඊට අමතරව අකමැතිම දේවල් වලට තිබ්බේ මල් මල් ගවුම් රෙදි කෑලි..ඉතින් ඒ උපන් දින තෑගිනේ..කාලයක් යද්දි නම් තෑගි නොලැබුනුම තරම් ඒත් කාලයත් එක්කම උපන් දිනයක් කියන්නේ තෑගි බලාපොරොත්තු වෙන එක නෙවේ කියලා මම තේරුම් ගත්තා...

ඒ කොහොම වුණත් ආදරේදි හුවමාරු කරගන්න තෑගි ඊට වඩා හාත් පසින්ම වෙනස්..අපි අකමැති වුණත් ඒ තෑග්ග  පොඩි වුණත් ලොකු වුණත් අපිට ඒ තෑග්ග මාර විදියට වටිනවා...මොකද එතන තියෙන්නේ  තෑග්ගකට වඩා පිරි ඉතිරෙන ආදරය​.....

කොහොම වුණත් අන්තීමේදී මම පුරුදු වුණා ඕනම කෙනෙක් දෙන ඕනම තෑග්ගකට සතුටු වෙන්න​..මම පොත් කියවන්න එදා ඉදලම කැමති බව මගේ ප්‍රියාදරයා දැනන් හිටියා..ඉතින් එයා පුරුදු වුණා විශේෂ අවස්ථාවකදි මට පොතක් තෑගි දෙන්න​..ඒ මම කැමති දේ තමයි.මට සතුටු හිතුනා තමයි..ඒත් මම ආස කරපු දේ අන්තීමට එයාට කිව්වා...

'මේ අහන්න පොත් කියවන්න ආසයි කියලා පොත් ම දෙන්න එපා..මම කැමතියි ඔයා මගේ කැමැත්ත ගැන හිතනවට වඩා,ඔයා කැමති මට ගැළපෙනවා කියලා හිතලා ඔයා කැමති දෙයක් දෙන එකට....'

'ඒ කියන්නේ..මම කැමති දේවල් වලට ඔයා කැමතිි වෙයිද​....අනික පිරිමි කැමති දේවල් වලට එහෙම ගෑණු කැමති වෙනවද​? ඒවා ගැළපෙනවද​...?'

එයා මගෙන් එදා එහෙම ඇහැව්වම​..මට එක පාරටම ඔලුවට ආවේ..එයා පොත් කියවන්න හරි අකමැතියි..ඒත් ෆිල්ම්ස් බලන්න හරි කැමතියි...ඉතින් එයා අකමැති දෙයක් මට තෑග්ගක් විදියට ගෙනත් දුන්නම පස්සේ මම ඒකට කැමති වෙන්නේ මම ඒකට කොහොමත් කැමති නිසා...
මම මෙහෙම හිතුවා..මම එයාට පොතක් අරන් දෙනවා..ඒ මම කැමති දේ..එයා මම කැමති දේට මම ආදරේ නිසා බෑ නොකියා ඒක අරගනිවී..ඒත් හිත යටින් එයා ඒකට අකමැති වෙයි නේද​..මොකද එයා පොත් කියවන්න කැමති නෑ නේ...ඒත් දවසක් මම එයාට පොතක් ගෙනැල්ලා දුන්නා...එයා පුදුම වුණා...

'පොතක්..?'

'ඔව් පොතක්....'

'ඒත් මම පොත් කියවන්නේ නෑ නේ...'

'මට ඕන වුණා මම අකමැති දේ අරන් දීලා ඔයා සතුටු වෙනවට වඩා මම කැමති දේ අරන් දුන්නම ඔයා සතුටු වෙන එක​....'

එයා මාව තුරුලු කරගත්තා..

ඔව් ඒක හරි..හිතුවා වගේම එයා මම මට පහුවෙනිදම අරගෙන ඇවිත් තිබ්බේ බැඩ්මින්ටන් සෙල්ලම් කරන රැකට් දෙකක්....මම පුදුම වුණා..

'මොකෝ...'

'මේ ඇයි....?'

'මම ඉස්සර ඉඳලම ආසයි බැඩ්මින්ටන් ප්ලේ කරන්න ඉතින් මට හිතුනා ඔයා එක්ක සෙල්ලම් කරන්න​..ඒකයි මේක මම ඔයාට ගෙනාවේ...'

'ඒත් මම ආස වොලිබෝල් ගහන්න​....'

'ඒක තමයි නේද මැණික​...ඒත් මගේ වයිෆ් මට ගෙනත් දුන්නා ගිය සතියේ එයා ආසම පොතක්...මම ඒක කියෙව්වා...ඒක මට හරි අමුතුයි...සමහර තැන් තේරේන්නේ නෑ..ඒත් මට තේරුණා එයා මොනතරම් සුන්දර ගැහැණියක්ද කියලා..අනිත් අය හිතනවට වඩා මෙච්චර ලස්සනට හිතන්නේ එයා මෙහෙම පොත් කියවන නිසානේ...'

ඉතින් තව මොනවා කියන්නද මට එදා හිතාගන්න බැරි වුණා..ආදරය තියෙන්නේ එතන නේද​..අපි කැමති දේවල් වලට වඩා අපි ආදරය කරන මිනිස්සු කැමති දේවල් වලට අපිට පෙරළා ආදරය කරන්න පුලුවන් නම්..ඒ දේ සතුටින් බාර ගන්න පුලුවන් නම්...ඇත්තටම ඒක හැමෝටම බෑ...ඉතින් මට ලැබුණ වටිනම තෑග්ග තමයි එයා...

-මොණරි-

Saturday, 24 June 2017

නැවතත්...
----------------

බිඳී ගිය රළ නැතිමුත්
තව රළක් සෙමෙන් අවුදින්
මුතු කැට‍යක් තබනු ඇති 
සිනිඳු දෙපා පාමුලට..
දෑස ළඟින්ම නොපිපුණත්
පිපෙනු ඇත තව මලක්
දුරක ඇති තුරු හිසක,
කොඳුරමින් නම..
කල්පයක් ගත වුවත්
නව සිහින යළි මැවෙත්
දැවී හළු වූ පැරණි පැතුම් මැද..
සුන්දරයි හෙට දිනත්
සිනහ ගෙන එන යළිත්
අද කඳුළු දිලිසුනත් දෙනෙත් අග

-මොණරි-

Tuesday, 20 June 2017

කෙටිම කෙටි කතාවක්
----------------------------------

මම හිතුවා...තවමත් එහෙමයි....ඉස්සර ඉඳන්ම හිතුවා....දැනටත් එහෙමයි...ඉස්සරහටත් එහෙමයි...හැම මොහොතක්ම ගෙවුණේ  ඒ ගැනම හිත හිත​..ඔව් ඇත්තටම ඒ ගැනම හිත හිත​....

'ඉතින් මොනවද ඔයා හිතුවේ...?'

'ඒක තමයි මොනවද මම හිතුවේ...?'

'මොනවද ඔයා හිතනවා කියන්නේ?...'

'එයාට ඕන ඕන වෙලාවට ගෙන්න ගන්න ගෑණු ඉන්නවා....'

'ඉතින් ඔයා දන්නවනේ ඒක​...තව මොනද ඕක ගැන හිතන්න තියෙන්නේ...?'

'ඔව් ඉතින් මමත් යනවා,එනවා...,දන්නවා විතරක්  නෙවෙයි මම ඒ ගැන දැන දැනත් යනවා....'

හිතාගෙන හිතාගෙන ගියාම හිත බර වෙලා බිමට කඩන් වැටෙන්න වගේ වගේ යනවා..මම දැන් හිතන්නේ ඇත්තටම මේ ගැන නොහිතා ඉන්නේ කොහොමද කියලා.

'හිතන්න බැරි තරමට හිත හිර කරන්න​...'

'ඒක මහා පිස්සුවක්...මම කොහොමද එහෙම  කරන්නේ...?හිතෙනවා හැර මට වෙන කරන්න දෙයක් නෑ...'

'හිතුවම මුකුත්ම වෙන්නේ  නෑ....අඩුම ගානේ හිතලා ඇත්ත තේරුම් අරගෙන ඒකටවත් මූණ දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්...'

මම තවමත් කැඩපත ඉදිරියේ සිටගෙන සිටිමි.....

'ඔයා හිතන්නේ එයා ගැනම නෙවෙයි....'

'ඔයා කොහොමද එහෙම කියන්නේ....?'

'මම දන්නේ නැත්නම් වෙන කවුද දන්නේ...?'

'විකාර​...'

'එයා බුදියගන්න අනිත් ගෑණු ගැනයි ඔයා හිතන්නේ...'

මම වේගයෙන් දිවගියෙමි...ඉතින් හැංගෙන්න කියා නවතින්නවත් නැති තරමටම හිත මාව හිර කෙරුවාය​.

මම ආපසු හැරුනෙමි....නැවත එක දෙක තුන පියවරෙන් පියවර කැඩපත ඉදිරියට ගියෙමි.

'මේ අහන්න​...මම සතුටුයි'

'මොනවටද ඔයා සතුටු.....?

'එයා මොනවා වුණත් ඇත්ත කිව්ව එක ගැන​...එයාට කාටවත් අයිති කරගන්න ඕනේ නෑ..එයා එයාමයි..එයා ජිවත් වෙන්නේ ඒ මොහොතේ විතරයි...කරුණාකරලා මා එක්ක වාද කරනන්න එපා...'

'ඔයා හරි..ඔයා සතුටු වෙනවා,අර යන එන ගෑණු ගොඩේ  ඔයත් ඉන්න එකට....'

'නවත්තගන්න ඕක​..මට ඕනේ නෑ කොන්දේසි දාන්න​....එයාගේ නිදහසට මම ආදරෙයි...'

'එයා කොන්දේසි දාන්නෙත් නෑ නේ ඔයාට ඒක නිසා ඔයත් කැමතියි..මොකද ඔයාගේ නිදහසටත් ඔයා ආදරෙයිනේ...ඒකයි ඇත්ත​...'

'අනේ මට මහන්සියි....'

'ඔහොම වෙනකොට ලැබෙන්නේ සතුටක් ද​...?'

'නෑ ඒක ඇතුළේ මහාමෙරක් තරම් දුකක් තියෙනවා....'

'හිතලා හිතලම හිත මැරිලා යයි....'

'කමක් නෑ..මැරිලා ගියදෙන්....'

'ඔයාගේ වේගය වැඩියි...එක්කෝ ඔයාව පුපුරලා මැරිලා යයි....'

'එහෙම වෙන එක හොඳයි..ප්ව් එහෙම වෙනවා නම් මම කැමතියි...'

'එයාගෙන් හැමෝම අහනවා ඇති..,
ඔයා මට ආදරෙයිද​...?
එතකොට එයා මොනවා කියනවා ඇත්ද​..?'

'මොනවටද මේ චූටි චූටි දේවල් ගැන හිතලා මහා ලොකු දුකක් එකතු කරගෙන ජිවත් වෙන්න හදන්නේ...?'

'මේ සිංදුව ඔයා නිතරම අහන​,ඒක මතකද බලන්න​....'

"හැම මලකටම උරුම වෙනවා පාටක්..
චූටි චූටි චූටි චූටි වෙනසක්....
හොඳම මල ඔයා නෙවෙයි....
හොඳම පාට ඔබේ නෙවෙයි.....
හොඳම සුවඳ ඔබේ නෙවෙයි....
හොඳම මල ඔයා නෙවෙයි....."

'හොඳම මල ඔයා නෙවෙයි...හොඳම මල ඔයා නෙවෙයි...හොඳම සුවඳ ඔබේ නෙවෙයි.....,

'ඔව් හරි හරි..., හා..මම දන්නවා....ඇති දැන් ඕක​....ඒත් මට ඕනා....!'

'ආසාවට...'

'දන්නේ නෑ...'

'ඔව් ආසයි..ඔයා ආසයි....ආස නිසා තමයි හැමදේම පවතින්නේ...ඔයා ජිවත් වෙන්න ආසයි....ඉතින් ඔයා ජිවත් වෙනවා...ඔයා ආස දේට ඔයා ආදරේ කරනවා....ඒත් ආදරේ හිතෙන දේට ආස වෙන එකට වඩා ආස දේට ආදරේ වෙන එක හොඳයි කියලා ඔයා හිතනවා...එහෙම තමයි ගෑණු හිත්.....'

'ටික කාලයයි....'

'බම්බුව​...'

ඉතින් මම කැඩපත ඉදිරියෙන් නික්ම ගියෙමි..මටත් හිතටත් හතිය​,මේ වාද කිරිම වෙහෙසකාරීය​,ඊටත් වඩා පීඩාකාරීය​....හැමදේටම මුල හිත මය​..

'ඇඟ පුරා තියෙන හැම රෝම කූපයකටම​,මූණ පුරා තියෙන හැම ඉරියව්වකටම​...,කිසි දෙයක් එපා..මට අෑතට වෙලා බලන් ඉන්න දෙන්න​..'

'ඇයි ඉතින් මේ...ඈතට වෙලා ඉන්නකන්ම ළඟට එන්න ඕනා කියලා රණඩු කරනවා..ළඟට ආවම ඈතින් ඉන්න හදනවා..ඇයි ඉතින් මේ...'

පිරිමි එහෙමයි...ඈතට වෙලා ඉදිද්දි පෙන්වන ආදරේ නෙවෙයි ළඟට ආවම දෙන්නේ...ඉතින් එහෙම දැන දැනම මම ඇයි මේ මත්තේම නැහෙන්නේ.....මම නැවත ඔහු වෙතට පැන ඒ පපුතෙරේ සැඟවුනෙමි...'

'මම ඔය මූණේ හැම හැඩතලයක්ම මගේ හිතේ පතුලෙම ඇඳගන්නවා....ඊට පස්සේ මහා ගොන් ප්‍රශ්න ටිකක් අහනවා...'

"දෙව්මිට ආදරෙයිද​...?"

"ඔව් ඉතින්..."

"සුමුදුට...?"

"හ්ම්ම්ම්ම්ම්ම්..."

"උදේට ඇහැරනකොට කාවද මුලින්ම මතක් වෙන්නේ...?"

"දිල්හාරාව​.."

ගෑණු එහෙමයි..දැන දැනම හිත රිද්දාගන්න කැමතිය​...

'ඇයි පැටියෝ....ඔයා දැන දැනම මගෙන් ඕවා අහලා මේ මොහොත අපේ නැති කරගන්නේ..?ඔයාගේ හිත රිද්දගන්නේ...?

'ඔයා කොහොමද කියන්නේ මගේ හිත රිදෙනවා කියලා...?'

'ඔයාමනේ දවසක් කිව්වේ ගෑණු හිත රිදෙන්නේ නෑ  කිව්වට,හිත රිද්දගෙනයි දන්න දේවල් ආයේ ආයේ අහන්නේ කියලා....'

'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....'

'ජිවිතේ ආසම තැන් වල නවතින්න හැමෝටම බෑ...එතන නවතින්න හිතලා එතනට සේන් දු වුණාම එතනට මම වගේම තව අයත් ආස කරනවා එතන නවතින්න කියලා දැනගත්තම​...........,පොඩ්ඩක් ඉන්න​...මට කතාවක් මතක් වුණා..'

"ඔයා අහලා තියෙනවද මුහුදු වැල්ලේ ඉරි ඇන්ඳම වෙන දේ...?''

''මැකිලා යනවා...''

''හ්ම්ම්ම්ම්ම්ම්.....වැල්ලට ඇවිත් ඉරි ඇන්ඳම මුහුදු රැලි ඇවිත් ඒවා මකාගෙන දුර ඈතට  යනවා....ඊට පස්සේ අපි වැල්ලේ ලියපුවා හැමදෙයක්ම මුහුදු රැල්ල පතුලටම අරන් ගිහින් කොහේ හරි තැනක පේන්නැති වෙන්න හංගනලා තියෙනෙවා...."

ඔහු මහා හයියෙන් සිනාසුනි....

''ඇයි ඔයා හිනා වෙන්නේ?..."


"නිකන්..."

"ඔයත් මුහුදක් වගේ....මමත් ආසයි මුහුද බලන්න​....මම ඇර තවත් හුඟක් අය ආසයි මුහුද බලන්න​.....මමත් ඇවිත් මුහුද බලලා යනවා..ඒ අයත් එහෙමයි..ඇවිත් මුහුද බලලා යනවා...මම ආසම තැන එයාලගෙත් ආසම තැන​...."

'යාම් ඊම්.......යාම් ඊම්......යාම් ඊම්...........'

'එච්චරද​......?'

'හ්ම්ම්ම්ම්ම්ම්ම්......'

'හැබැයි මට ඕනා අන්තිමට ඉතුරු වෙන කෙනා වෙන්න​.....'

'ඔයාට ඉන්න බැරි වෙයි..එපා වෙයි.....'

'රිදුමක තිබුණා 
එක සතුටක්....
රිදුමක තිබුණා 
එක සතුටක්....
රිදුමක තිබුණා...
එක සතුටක්...
සතුටක තිබුණා...
ලොකු රිදුමක්......'



-මොණරි-


Sunday, 11 June 2017

..කෙටිම කෙටි කතාවක්.



පෑලියගොඩ අලුත් පාලම උඩ බස් නැවතුමේ බෝ ගහ යට කියන්නේ ගිනි ගහන රස්නේ තිබුණත් මහා සැනසීමක් සිසිලසක් දැනන තැනක්.මම හැමදාමත් ඔතනට ආස කළේ ඒ නිසාමයි..වැඩ ඉවර වෙන වෙලාව ටිකක් වෙහෙසකාරී වුණත් දවල් දෙකට විතර ඒ බෝ ගහ ළඟ මට දැනුනේ මහා ශාන්තවත් බවක්..
එදා සඳුදා දවසක්,වෙනදා වගේම තවත් එක සඳුදාවක් නෙවෙයි ඒ..මම කාලයක් තිස්සෙම පෙරුම් පුරාගෙන හිටිය දවසක්,හිතම හිරිවට්ටපු මුලු ජිවිතේම කණපිට පෙරලුව හැඟීමට උපත දුන් ජීවමාන රුව තමන් ගේ ඇස් පනාපිටට එන දවසක්...
'මම අද එනවා..රෑ 10 වෙද්දි මම එනවා..'
මට ඕන වුණා එයා එන දවසට මොනවා හරි අරගෙන යන්න​.මට ඕන වුණේ නෑ එයා කැමති මොනවටද අහන්න​,ඒත් මට ඕන වුණා මම ආසම දෙයක් එයාට දෙන්න​..එදා ඉඳලම එහෙමයි,තව කෙනෙක්ට තෑග්ගක් අරන් දෙනකොට මට පුරුද්දක් තිබ්බේ නෑ අහන්න​.මොනවද ඕනේ,මොනවටද කැමති කියලා අහන්න​,හැබැයි මම කැමති දේ අරන් දෙන්න මම පුරුදු වෙලා හිටියා.
'මම මේ පොඩි ගමනක් ආවා..මොකද අද එක්කෙනෙක් එනවනේ,මාව බලන්න එයාට පොඩි තෑග්ගක් ගන්න ආවා...'
'එක්කෙනෙක්...?'
'ඔව් ඒ එක්කෙනා තමයි ඉතින් මගේ හැමදේම​...'
'ඒත් අහන්න​,මම ඔයාට මුකුත් ගත්තේ නෑ..මොනවද ඕනා කියන්න​..'
'මුකුත් එපා..ඔයා කැමති දෙයක් ගේන්න​...'
එදා ඉඳලම අවපැහැ ගැන්වීලා තියෙන පිටු තියෙන පොත් වලට මම කැමති බව කාවිංගට කිව්වා,ඒක නිසා එයා දෙයක් ගත්තා කියනකොටත් මම දැනන් උන්නා එයා ගත්තේ එහෙම දෙයක් කියලා,ඒත් ඒක මම කොහොමත් කැමති දෙයක්,ඒත් මම දෙන්න ගත්තේ මම ආස දෙයක්.
එදා වැස්ස දවසක්,පොඩි තෑගි සාප්පුවකට ගිහි තෝරලා තෝරලා මගේ හිත ගිය පුංචි බිත්ති සැරසිල්ලක් මිළදි ගත්තා.ඒත් එක්කම ඒක ලස්සනට සරසගෙන යන්න ප්‍රංශ කුලුණ තියෙන ලස්සනම තෑගි ඔතන කොළයකුත් ගත්තා.මම කොහොමත් අයිෆල් කුලුනට කැමතියි.
මුල ඉඳලම දහසකුත් හිස්තැන් තිය තිය ඔයා ලිව්ව මේ කතාවේ හිස්තැන් වලට ගැළපෙන පද හොයන්න මහන්සි ගත්තේ නෑ.මොකද සම්පූර්ණ කතාව මම දැනගත්තම මම ඒක මොන විදියකින් දරාගන්න ඕනද කියන එක ගැන මට මහා ලොකු තේරුමක් තිබ්බේ නෑ. අත්දෑකිම් තුළින්ම අවබෝධ කරගත්ත ජිවිතය ගැන මට පැහැදිලි අරමුණක් තිබ්බේ නෑ.එක දෙයක් මම මේ හැමදේම කඩාගෙන යන්න ඕනා කියන උවමනාව මට තදින්ම තිබුණා..ඒ අතරේ ඇත්තටම මේ කතාවට මුල පුරන්නෙත් ඔයා නෙවෙයි මම මයි..ඒ කොහෙද යන කුණු කන් දක් ළඟ ඉන්න බල්ලෙකුගේ පින්තූරයකින්.එදා මම ඔය ෆොටෝ එක ඔයාට පෙන්නුවට ඊට කලින් ඉඳලම මගේ හීන වල මම ඔයාව මවාගෙන හිටියා.
'මම ඇවිත් ඉන්නේ ඔයා කොහෙද ඉන්නේ...?
'මම තවම බස් එකේ...විනාඩි පහළොවක් දෙන්න මට මම ෆ්ලෝටින් මාකට් එක ළඟට එන්නම්....'
බස් එකත් අද වෙනදට වඩා මහා හෙමින්..ඒත් මගේ හිත මේ වෙනකොටත් ෆ්ලෝටින් මාර්කට් එකට ගිහින්.දැන් හිත එතන​.පොඩිකාලේ ඉඳලම හිස් තැන් පුරව පුරව මම තනියම කියවගත්ත ජිවිතය තවමත් ලොකු වෙනසක් නෑ..වැරදි පරිච්ඡේද මතු නොවුණම නෙවෙයි ඒවයි තේරුමක් නැති තැන් ගොඩයි ජිවිතේ...ඒත් තැනින් තැන කලු පාට වුණ,සුදු පාට වුණ ප්‍රේහේලිකාවක උපකාරක අකුරක්වත් නැතිව විසඳන්න වෙලා.ඇත්තටම හිස්තැන් පුරවන එක වගේ ලේසිම නෑ.
'ඇස් දෙක​...ඒ වගේමයි...හම්මෝ ඔය ඇස් මාව කවදා හරි මරනවා...'
ඒත් මට තවමත් ඒ මූණ දිහා ඇස් දිහා කෙලින් බලන්න බෑ.මම ඉක්මණටම බෑග් එකෙන් එළියට ගත්තේ එයාට ගෙනාව තෑග්ග​.ඒත් මම දුන්න තෑග්ගට ඔයා කැමති නෑ කියලා මට දැනුනත් මම හිනා වෙලාම හිටියා,ඔයත් හිනා වෙලාම හිටියා.මම බලාපොරොත්තු වුණා තෑග්ගම ඔයා මට ගෙනත් තිබ්බා..ඒ ආ මම කිව්ව ජාතියේ පොතක්.පොතක් පිරෙන්න ලිව්වත් මදිවෙන තරමට මගේ ළඟ ආදරේ තිබුණා.
'මේ දන්නේ නැති නිසයි අහන්නේ මේ රේල් පාර යන්නේ කොහෙටද​?'
'ඒක කොටුවට යන්නේ....?
'නෑ අර තියෙන්නේ කොටුවට යන රේල් පාර​..මේක ඒක නෙවෙයි...'
'හ්ම්ම්ම්ම්ම් දන්නේ නෑ එහෙනම්...'
ඇත්තටම අපේ කතාවත් ඒ වගේ කොහේට යනවද කියලා දැනගෙන හිටියේ නෑ..හැබැයි අපේ ඇවිදගෙන ගියා...ලෝකේ ඉන්න ලොකුම ප්‍රෝඩාකාරයට රැවටුණ ගෑණියෙක්ට මෙතරමම්ම තවත් මිනිහෙක්ට ආදරේ කරන්න පුලුවන් ද​..හුඟාක් දේවල් වහන් කරන ම්නිහෙක්ට,දැනටත්...?උත්තරේ 'ඔව්'....
'අපි යමු මෙතන ඉන්න බෑ..'
මට ඔයාගේ ඇස් දිහා බලන් ඉන්න ඕනකමක් තිබ්බත් ඒ ඇස් මාව උවමනාවෙන් මඟාරින බවක් මට දැනුනා..ආදරෙයි කියලා කොච්චර ලිව්වත්,කොච්චර කිව්වත්,ඒක ඇස් දෙක දිහා බලන් කියන්න මට උවමනාව තිබ්බා..ඇත්ත​..කියද්දි කියන්නයි,ලියද්දි ලියන්නයි ආදරේ කියන්නේ ලස්සන දෙයක්,ඒත් ඇස් දිහා බලන් ආදරේ කියනවා කියන්නේ ඒක අමුතුම දෙයක්.වර්චුවල් ලෝකේ ආදර වන්තයෝ සැබෑ ලෝකේ පළවෙනි වතාවටම මුණ ගැහුණ ගමන්, චැට් වලින් කියපු දේවල් ස්කයිප් වලින් දැකපු දේවල් සේරම එකපාරටම බොරු වෙලා ගියපු අවස්ථා මම දැකලා තියෙනවා. හැබැයි එහෙම නොවුණු අවස්ථාත් දැකලා තියෙනවා.මේ අවස්ථාවත් එහෙම නොවුණූ අවස්ථාවක් කියලයි මට එදා හිතුනෙම​...
හීනෙකින්වත් නොහිතපු වෙලාවක ආදරේ හමුවෙලා හදවත හොඳටම ගිලන් වුණා. එදායින් පස්සේ දවස් කීපයක් යනකම් කාටවත් නොපෙනෙන ගන්ධබ්බ ආත්මයක් වගේ මාවත් දිගේ මම ඔහේ පාවෙලා ගියා.
ජීවිතේ ලස්සනම දවසකුයි කැතම දවසකුයි එකම දවසට වැටිලා තිබුණු බවක් මම කලින් දැනගෙන හිටියේ නෑ.
'මට කියන්න දෙයක් තියෙනවා..'
'මම දන්නවා..'
'ඒ මොකක්ද​?'
'ඔහොම පුදුමයෙන් වගේ බලන්න එපා හාවෝ..මම දන්නේ නෑ කියන්න යන දේ මොකක්ද කියලා,ඒත් කියන්න කතාවක් තියෙනවා කියලා මම දන්නවා...'
'අහන්න මොන දේ වුණත් මම හරිම ආදරෙයි තේරුණාද​...?'
'මට තාත්තා කියන්න පොඩි එකෙක් ඉන්නවා,ඒත් ඒ ඇත්තටම මම තාත්තා නෙවෙයි..ඒත් ඒ පොඩි එකා මට තාත්තා කියනවා..මමත් ඒ ළමයට ආදරෙයි...!'
'එතකොට ඒ පොඩි එක්කෙනාගේ අම්මා...?'
'ඒක මම දන්නේ නෑ..ඒත් අපි අතරේ කිසිම බැඳීමක් නෑ..එයා මගේ නෑනා..අයියා එයාව දාලා යද්දි එයාගේ බඩට මාස 06යි....එදා ඉඳන් හැම වගකීමක් මම යි කළේ..'
'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්'
'ඒත් මම ආදරේ කළේ එදා ඉඳලම ඔයාට...මට ඔයාව ඕනා..ඒත් මේ දේ ඇහැව්වම පස්සෙත් ඔයාට පුලුවන් මාව දාලා යන්න​..ඒත් මම ආදරෙයි..මට තවමත් ඕනා ඔයාව​..මම ආවේ ඔයාව එක්ක යන්න​...හිම බලන්න​...'
'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්'
'අටකාමාවට වැස්ස වැටුණම මොකද වෙන්නේ..?'
'මල් පිපෙනවා...'
'එනවද මා එක්ක යන්න​....
'මට මගේ දරුවට අප්පච්චී වෙන්න ඕනා...'
'හ්ම්ම්ම්ම් ඔව් මම එනවා.'
ඒත් මට ඇත්තටම ඕන වුණේ එතනින් පැනලා දුවන්න​..ඔලුව හැරුනු අතේ යන්න​...ඒත් මට තවමත් ඔයාගෙන් මිදෙන්න බෑ...මම මාව ඇරෙන්න කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නේ නෑ.ඒත් මම මටත් වඩා ඔයාට ආදරේ කරනවා.ඉතින් මගේ ආදරේ මට විශ්වාසයි...'
'එච්චරයි...'

-මොණරි -

Saturday, 10 June 2017

සොඳුරු මතක​

බොහොම ඉස්සර ඈත දවසක
මල් පිපී එන රන්වන් සැදෑවන්
හුඟක් තිබුණා රස කර කියන්නට
සමකයක් උඩ නිදි කිරා වැටුනට
තොටිලි පැද්දුනේ සීත අරණක...
වළාකුළු බිම වැටුනු කාලෙක..
කතා තිබුණා රසකර කියන්නට..
දලු ලාගෙන එන ගසේ සුවඳත්
අඩුත් නැතිවම වැඩිත් නැතිවම
පතුරවන්නෙම අපේ ස්නේහය..
වළාකුළු බිම වැටෙන සමයක..

-මොණරි-


Friday, 9 June 2017

ගෑණුන්ට ඕනේ ආදරේ දැනෙන්න නෙවේ,පෙන්නන්න​..

ගෑණුන්ට ඕනේ ආදරේ දැනෙන්න නෙවේ,පෙන්නන්න​...
ඒත් පිරිමි තමන් ගේ ආදරේ පෙන්නන්නේ නෑ..ඒ ආදරේ දැනෙන්න අරිනවා....

ආදරේදී ගෑහැණිය පිරිමියාට වඩා ඉහළද එහෙමත් නැත්නම් පහළද කියලා අපිට නිශ්චිතවම කියන්න අමාරුයි.නමුත් සමස්තයක් විදියටම ගත්තම ගැහැණු කැමති තමන් ගේ ආදරේ මුලු ලෝකෙම කියලා හිතන්න​,ඒ ආදරේ මුලු ලෝකෙටම පෙන්වන්න​,ඒත් පිරිමි එහෙම නෑ,පිරිමින්ට ඕනේ තමන් ගේ ආදරේ තමන් ආදරේ කරන කෙනාට දනවන්න​,ඒ ආදරේ ලෝකෙටම පෙන්නන නෙවෙයි,තමන් ආදරේ කරන කෙනාට ඒ ආදරේ නිහඬවම දැනෙන්න ඉඩ හරින්න​...
ඒත් මේ වගේ වෙලාවට සමහර විට ගැහැණිය මේ දේවල් තේරුම් ගන්නේ වැරදියට වෙන්නත් පුලුවන්,තවත් සමහරුන්ට මේ දේවල් හරියට නොතේරේනවා වෙන්නත් පුලුවන්,තවත් සමහරු තේරුණත් නොතේරුණා වගේ ඉන්නවා වෙන්නත් පුලුවන්,ඒත් ඇත්තම දේ තමයි හුඟක් ගැහැණු කැමති තමන් ආදරේ කරන හැටි ගැන වටේම ඉන්න මිනිස්සුන්ට පෙන්න පෙන්න යන්න​...
එක දවසක් ගෑණු ළමයෙක් තමන් ආදරේ කරන පිරිමි ළමයා තමන් ගේ අතින්වත් අල්ලන්නේ නැතුව ඔහේ පාරේ ඇවිදන් යනකොට ඒ කෙල්ලට මෙහෙම හිතුනලු,'ඇයි දෙයියනේ මේ මිනිහට මගේ අතින් වත් අල්ලගෙන යන්න බැරි,කොච්චර කෙල්ලේ ඉන්නවද කොල්ලන් ගේ අතින් එල්ලිලා යන​,ඒත් මේ මනුස්සයා මොන තරම් මට ආදරෙයි ආදරෙයි කියලා කටිින් කිව්වට මගේ අතින් අල්ලන් පාරේ යන්න බෑ..ඒත් එක පාරටම මේ දෙන්නා කහ ඉර පනින්න යනකොට අර පිරිමි ළමයා මේ ගෑණු ළමයගේ අතින් ඇල්ලවලු,අල්ලලා පාර පැන්නලු,ඊටත් පස්සේ කෝපි කෝප්පයක් බොන්න අවන්හලට ගිය වෙලේ වාඩි වෙනකොට ඒ පිරිමි ළමයා තමන් ගාවින් වාඩි වෙන්නේ නැතුව ඊට ඉස්සරහින් තියෙන පුටුවෙන් වාඩි වුණාම අර ගෑණු ළමයා මෙහෙම හිතුවලු, 'ඇයි එයාට මම ළඟින් වාඩි වුණා නම් මොකද වෙන්නේ,ඒත් එයා මට ඉස්සරහ තියෙන පුටුවේ වාඩි වුණේ,එයා අකමැති ඇති මම ළඟින් වාඩි වෙන්න' කියලා හිතුවලු,බැරිම තැන මේ ගෑණු ළමයා මේ ගැන තමන් ගේ ආදරවන්තයා එක්ක කතා කළාලු,
'ඇයි ඔයා පාරේ ඇවිදන් යනකොට මගේ අතින් වත් අල්ලන්නේ නැතුව ආවේ...ඔයාට ලැජ්ජයි වගේද මගේ අතින් අල්ලන් යන්න​...,එතකොට ඇයි මේ මගේ ළඟින් ඉඳගන්නේ නැතුව මගේ ඉස්සරහා තියෙන පුටුවේ වාඩි වුණේ,මගේ ළඟින් ඉඳගන්න බෑ කියලා හිතුනද​...ඒත් ඔයා මම තනියම කවුරුත් නැති තැන් වලදි මම තමයි ඔයාගේ ජිවිතේම කියන්නේ,ඒත් ඔයා සමාජය ඉස්සරහදි හැසිරෙන්නේ සාමාන්‍ය විදියට..'
මේ චෝදනාවෙන් ඒ පිරිමි ළමයා හුඟාක් විස්මයට පත් වුණාලු,තමන් ගේ ආදරේ වටහාගෙන තියෙන විදිය ගැන අදහාගන්නත් බැරි වුණාලු...
'පිස්සුද කෙල්ලේ..මම අතින් අල්ලන් ගියේ නෑ කියන එකේ තේරුම මම ඔයාට ආදරේ නෑ කියන එක නෙවේ..ඒත් ඔයාට මතකද කහ ඉර පනිනකොට මම ඔයාගේ අතින් ඇල්ලුවා...එතකොට ඔයා පුදුම වෙලා මගේ මූණ දිහත් බැලුවා..ඒ තමයි මගේ ආදරේ...ලෝකෙට පේන්න බොරුවට මට ඔයාගේ අත අල්ලගෙන ඇවිදන් යන්න ඕනේ නෑ.එක එක්කෙනා එක එක විදියයි,ඔයා ඒක තේරුම් ගන්න ඕනා,,කොටින්ම කිව්වොත් ඔයාට ඒක දැනෙන්න ඕනා..ඊට පස්සේ මම මෙතනට කෝපි බොන්න ඇවිත් ඔයාට එහා පැත්තේ ඔයාගේ ළඟින් ගෑවි ගෑවි වාඩි වුණේ නැත්තේ ඔයාට ආදරේ නැති නිසා නෙවේ..මම එහෙම වාඩි වුණාම ඔයාගේ මූණ මට පැහැදිලිව පේන්නේ නැති නිසයි,ඔය ලස්සන ඇස් දිහා බලාගෙන ඉන්න ඕන නිසයි මම ඔයා ඉස්සරහින් එහෙම වාඩි වුණේ,ඔයාට ඒක දැනෙන්න ඕනා.,ඒ තමයි මගේ ආදරේ...ලෝකෙට දැනෙන්න පේන්න නෙවේ,ඒ ආදරේ ඔයාට විතරක් දැනෙන්න ඕනා......'
මේ විදියේ දේවල් ආදරේ කරන අය අතර ඕන තරම් සිද්ධ වෙලා ඇති..එහෙම තමයි පිරිමි බහුතරයක් තමන් ගේ ආදරේ ලෝකෙට දැනෙන්න නෙවේ තමන්ට දැනෙන කෙනා එක්ක අතීශය සියුම් විදියට ගණුදෙනු කරනවා,ඒත් ගෑහැණු සමහර විට ඒ ආදරේ නෙවේ කියලා තේරුම් ගන්නවා...
සමහරක් වෙලාවට සමහර ගැහැණුන් තමන් ගේ ආදරවන්තයා එක්ක ඉන්න ඡායාරූප ෆේස්බුක් එකේ අප්ලෝඩ් කරනවා,තමන් ආ ගිය තැන්,තමන් ගේ ආදරවන්තයා හෝ ස්වාමි පුරුෂයා තමන් ගේ උපන් දිනයට ,සංවත්සරයට,මේ වගේ විශේෂ දවස් වලට තමන්ට සුබ පැතුම් එක් කරපු විදිය ගැන​,ඒ දුන්න තෑගි ගැන මේ හැම දෙයක්ම මේ සයිබරයට මුදා හරිනවා,ඔව් ඒක බහුතර ගැහැණුන් ගේ ස්භාවය​,වරදක් කියනවා නෙවෙයි,තමන් ආදරේ කරන තමන් ගේ හැම දෙයක්ම කියලා ලෝකෙට පෙන්නන්න ගැහැණු හරි කැමතියි,ඒත් පිරිමි එහෙම නෑ,සමහර වෙලාවට මේ දේවල් පිරිමියා අතින් සිද්ධ නොවෙනකොට දෙදෙනා අතර ගැටුම් පවා ඇති වෙන අවස්ථා ඕන තරම් තියෙනවා,හුඟක් වෙලාවට එහෙම නොවෙන්නේ පිරිමියා තමන්ට ආදරේ නැති නිසයි කියලත් ගැහැණු හිතන්න පෙළඹෙනවා,ඒ තමයි බහුතරයක් ගැහැණුන් ගේ ආදරේ හැටි.ආදරේ කරන කෙනා එක්ක රිලේශන්‍ෂිප් දැම්මේ නැති වුණාම​,තමන් එක්ක ඉන්න ෆොටෝ එකක් අප්ලෝඩ් නොකළම ඒ තමන්ට ආදරේ නැති කම කියලා හිතන හුදෙක් ගැහැණූන් නැතුවම නොවේ,ඒ තමයි ගැහැණු ගේ ආදරේ හැටි...ගැහැණු කැමතිම ආදරේ ලෝකෙටම පෙන්වන්න​..පිරිමි එහෙම නෑ..පිරිමින්ට ඕනා තමන් ආදරේ කරන කෙනාට විතරක් ඒ ආදරේ දැනෙන්න ඉඩහරින්න​..

-මොණරි-


Thursday, 8 June 2017

මට ඕනා පුතෙක්...................

ඉතිහාස කතා ඇත පුතේ නුඹට කියා දෙන්න​
මිහිරි අමිහිරි වුණත් පුතේ නුඹ දැනගන්න​
කටු පොකුරු සිපගත්තේ මල් උයන් මැද ඉන්න​

පැරදුනත් ජිවිතේ එකම තැන නැවතී ඉන්න​
ඉපදෙන්නට හැකි බව කියාදුන් කතාවේ උන්න​
මතකද අලු මතින් ඉපදුන ෆීනීක්ස් ගැන නුඹට

නිදහසේ ඉගිලෙන්න ආදරය විඳගන්න​
පාට පාටින් අහස පුරා ආදරය පතුරන්න​
ආදරයෙන් මුලු ලෝකෙම නුඹට හැකිය සරසන්න

පුතුනි නොදනිම් තිබේදැයි හෙට දිනක්
නුඹට ඉන්නට සරුසාර ලෝකයක්
එසේ ඇතිනම් බලා ඉන්නෙමි මමත්
නුඹෙන් මිනිසත් කමක්..
දවසක හිතට දැනුණත් මහා අසරණකමක්
හිතට දිරිගෙන දරාගෙන හිඳිනට
කියා දුන් පාඩම නිතර සිහියට අරන්
සියල් බැමි කඩාගෙන මගේ පුතේ ඉගිලියන්

-මොණරි-

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...