Thursday, 23 March 2017

අපි දෙන්නයි කතා ගොඩයි -03(ii)



ජීවිතේ ඇයි මෙතනම නැවත්තුවේ...?

නැවත්තුවේ නෑ

එහෙනම්?

නැවතුනා

විශ්වාසයිද දරුවෝ තාමත්....?

මොකද්ද?

නැවතුනේ හරි තැනම කියලා?

ඔවු.... මම විශ්වාසකරනවා. පොඩි පොඩි දේවල් නොවුනම නෙමෙයි.ඒත් ඒ දේවල්නිසා ජීවිතේටත් වඩා විශ්වාසකරන දෙයක් අවිශ්වාසකරන්න මට ඕනේ නෑ...

දන්නවද... මම ඔයාට ආදරේ ඇයි කියලා?

නෑ....

මට වඩා හාත්පසින්ම වෙනස් නිසා

ඒත් හැමෝම කියන්නේ එකතුවෙන්න ඕනේ එකවගේ දෙන්නෙක් කියලයි

ඔයාට පේනවද අර ඈත තියන ගස් දෙක?

ඕ.....

බලන්න.... එක ලඟ හිටියට එකක අත්තක් අනිකේ ගෑවෙන්නෙවත් නෑ. හරියට ගෑවුනොත් රිදෙයි කියලා වගේ.... ඒවා ලඟයි කියලා පෙන්නම් හිටියට ඇත්තටම ඒවා හරි දුරයි

ම්ම්ම්ම්....

පේනවද අර වම් පැත්තේ ගහේ ගිහින් තියන වැල? ගහේ මුළු කඳේම පැතිරිලා. ඒ දෙන්නා එහෙම කිට්ටුවෙන් ඉන්නේ ඒ දෙන්නා වෙනස් නිසා. ඒ දෙන්නා වෙනස් කියලා දෙන්නට දෙන්නා දන්න නිසා.

ඒ කිවුවේ...?

බලන්න...ගහ දන්නවා වැලට එයාව ඕනේ කියලා.ඉතින් ගහ එයාව තුරුල්කරගන්නවා... හයි....යෙන්. ඒ වැල ගැන අනුකම්පාවෙන් නෙමෙයි. වැලට තියන ආදරේට. වැල දන්නවා ගහ නැත්තම් එයාට නිදහසේ පැතිරෙන්න බෑ කියලා. ඉතින් වැලත් හයියෙන් ගහ බදාගන ඉන්නවා.ඒ ආත්මාර්තෙට නෙමෙයි. ගහට  ආදරේ නිසා. නැත්තන් එයාට වෙන ගහක් තෝරගන්න තිබ්බනේ. ඒකයි මම කියන්නේ.... ගහකට ගහක්වත්, වැලකට වැලක්වත් ගැලපෙන්නේ නෑ. නිදහසේ පැතිරෙන්නනම් ගහකුයි වැලකුයි වෙන්නම ඕනේ.

මම ආදරෙයි ඔයාට....

දන්නවද ඔහොම බදාගන්නකොට මට හිතෙන්නේ මොනවද කියලා?

නෑ

බදාගන මිරී.....කන්න හිතෙනවා

හා

මොකද්ද....?

මිරිකන්න මාව....මිරී..කගන පොඩී...කරලා ඔය හිත ඇතුලේ මාව හංගන්න.... ආපහු කවමදාවත් මට යන්න ඕනේ උනත් , යන්න බැරි විදිහට

බෑ

ඇයි?

ආදරේ කියන්නේ අයිතිකරගන්න එකම නෙමෙයි දරුවෝ.... එනකම් බලං ඉන්න එකට

කොච්චරකල් බලං ඉන්නවද මම එනකම්?

ඔයා එනකම්ම

කොහොමද?

හිම ගොඩක් උඩ වාඩිවෙලා

ඇයි හිම ගොඩක් උඩම?

ඔයා හිමවලට ආස නිසා...ඔයා කවදම හරි හිම හොයාගන එනවා කියලා දන්න නිසා

අනේ....

මොකද... ඉන්න එපාද?

මරනවා ගිහින් හිටියොත්.... මම එන්න කලින්

උම්මා දීලද?

මොකටද ?

මරන්නේ?

නෑ...හපලා... ඒත්

මොකද ඒත්?

හිම දියවෙයිද දන්නේ නෑ ඔයාගේ ආදරෙන්?

ඒ කොහොමද?

ඔයාගේ ආදරේ හරි රස්නෙයි.ඒ රස්නෙට

නෑ... මම පරිස්සමට ඉන්නම්....එනකම්ම

ඔයාට එපාවෙයි... බලන් ඉඳලම

නෑ... ඔයත් අර වැල වගේ මම බලන් ඉන්න හිංදම දුවලා එන්න

ඉන්නවද මම එනකල්ම?

ඔවු...

කොහේට වෙලාද?

අටකාමාවට වෙලා.... හිම අස්සේ

ඇයි එහේ?

හිම මැද්දේ මල් පිපුනහම ලස්සනයි... ඒකයි...

පිණි බිංදු විසුරුවන
වලාකුළු අතරමැද
නුඹ දිනක සඟවාපු
ජීවිතය තුරුළුකර
යලි හුස්ම පිඹිනු මැන
හිනහෙන්න හැමදාම

ආදරය කියලා කියන්නේ ජීවිතයටම'මයි දරුවෝ

-මොණරි-

1 comment:

  1. ආදරය කියලා කියන්නේ ජීවිතයටම'මයි දරුවෝ
    නියම ලියවිල්ලක්
    ජය වේවා ...!!!

    ReplyDelete

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...