Thursday, 23 March 2017

අපි දෙන්නයි කතා ගොඩයි -03(i)



'නුඹ මගෙන් මා උඳුරාගත් කළ,
 මා කෙසේ නම් නුඹෙන් මා සොයම්ද.,
 මට මාවම අහිමි වූ කළ....,
 මම කෙසේ නම් මම වෙන්නට.....,
 වෙර දරම්ද.......,
 නුඹ මගෙන් මා උඳුරාගත් කළ...,
 මම කෙසේ නම් නුඹෙන් මා සොයම්ද,
 උමතුවෙන් මා නැවත නැවතත් 
 සොයන්නේ.....,
 මගෙන් මාවම මිසක....,
 මට අහිමි වු නුඹව නොවේය....'

මුලක් මැදක් අඟක් ගැන හිතන්නේ නැතිව ලියන කතා සමහර වෙලාවට ඉවර වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි තරම්..සමහර වෙලාවට ඒ කතා ඉවර කරන්න හිතන්න කලින්ම අපි දන්නෙම නැතිව ඉවර වෙලා..එහෙම ඉවර වෙන කතා වලට කියන නමක්වත් හිතාගන්න බෑ...ඒ වගේ කතා සමහර වෙලාවට භාගෙට දැකලා ඇහැරෙන හීන වගේ..හීන දකින්න හීන හැබෑ කරගන්න හැමෝටම අයිතියක් තියෙනවා.හැමෝටම ලස්සන ලස්සන හීන පෙන්වන්න පුලුවන්,ඒත් එක දෙයක්....,හැබෑ වෙන හීන වලට වගකියන්න ඉදිරියට එන කිසිම කෙනෙක් බිඳිලා යන හීන වලට වගකියන්නේ එන්නේ නෑ කියන දේ....

ආදරේම හීනයක් වුණ කෙනෙක්ට ඒ හීන එකින් එක පෝළිමට බිඳීගෙන බිඳීගෙන ගියාම ඇති වෙන්නේ තමන් ගැනම මහා ආත්මානුකම්පාවක්.ඒක තමයි දරුණුම දේ.තමන්ට තම ගැනම ආත්මානුකම්පාවක් ඇති වෙනවා කියන්නේ ඒක දරාගන්න බැරි වේදනාවක්.ඊට පස්සේ ඒ වගේ මිනිස්සු බය වෙනවා හීන දකින්න​,හීන මවන්න​.අපි බලන් ඉන්නව නම් අපේ හීන කවුරු හරි පාට පාට කොළ වලින් ඔතලා බන් දේසියක් උඩ තියලා අපිට ගෙනැවිත් දෙයි කියලා,ඒ තමයි අපි මවන සීනී බෝලම හීනය​.එතනින් තමයි අපි පත්තු වෙන්නේ.ඒකට කියන්නේ මහා පරිමාණයේ බලාපොරොත්තු කියලා.

දැන් මොකක්ද මේ හීන හීන කියන්නේ?

හීන කියන්නේ හීන වලට..සමහර වෙලාවට හීන අපි කාට හරි බලෙන් පෙන්වන්න හදනවා.එහෙම වුණාම වෙන්නේ අපේ හීනත් කුඩුපට්ටම් වෙලා යන එකයි....

හ්ම්ම්ම්ම්ම්....!

ඉතින් දරුවෝ ඔයා ඇයි කාටවත් බලෙන් හීන පෙන්නන්න හදන්නේ...
?

නෑ මම බලෙන් හීන පෙන්නන්න ගියේ නෑ..මම හිතුවා මම වගේම එයත් හීන මවනවා ඇති කියලා..හැම පුංචි දෙයක් ගැනම​..ඒත් වුණේ වෙන දෙයක්....පීනන්න තියා හබල් ගහන්නවත් දන්නේ නැති මාව ඔරුවකට නග්ගලා හබලක්වත් නොදී එයා අතුරුදහන් වුණා.එක පාරටම,කිසිම දෙයක් කියන්නේ නැතිව​.දැන් මම මේ මහා සාගරය මැද්දේ තනි වෙලා..කරකියාගන්න දෙයක් නැතිව​....

හ්ම්ම්ම්ම්ම්ම්....

අර හිම බලන්න යමු කිව්වේ එයා ද​?

හ්ම්ම්ම්ම්ම්ම්......!

සංසාරෙක හැටියක් කියලා තමයි දැන් ඉතින් කියන්න වෙන්නේ...ජිවිතේ කියන්නේ මට ඔයාට අයිති දෙයක්.ඒකට ඔය එන එන හැම මනුස්සයට ලගින්න දෙන්න එපා..එතකොට මේක පාලු අම්බලමක් වගේ...

පන්සල පල්ලිය කියන්නෙත් හුඟක් අය යන එන තැනක් නේ ඉතින්..කෝ ඒවා අම්බලම් වගේ නෑනේ..

ඔව් ඉතින් ඒවා මිනිස්සු හීන හැබෑ  කරලා දෙන්න දෙයියනේ කියලා ඉල්ලගෙන එන තැනක්  නේ....ජිවිතේ කියන්නේ පන්සලක් පල්ලියක් කෝවිලක් වගේ නෙවෙයිනේ...

හ්ම්ම්ම්ම්ම්ම් ඒකත් ඇත්ත​...තියෙන තරමක් විසිරුණු හීන මිනිස්සු එක්කහු කරගෙන යන්න එන්නේ ඔතනින්..ඉතින් අපේ මිනිස්සු කවද්ද ඇහුම් කන් දෙන්න පුරුදු වුණේ.

ඒත් සමහරු කිව්වා 'මම ආසම අහන් ඉන්න' කියලා...

ඉතින් ඒ අය අහන් ඉන්නැති...

නෑ...ඇත්තටම එයාලා එහෙම කියලා තියෙන්නේ කියන්න දෙයක් නැති නිසා..

කෝ මේ ඊයේ පෙරේදා ආදරේ දරාගන්න බෑ කියලා මැරෙන්න ගිය කෙල්ල​.....?

ඒ කෙල්ල තාම ඉන්නවා...මේ ඉන්නේ ගහක් ගලක් වගේ....හිත දිය වෙවී දිය වෙවී ගලාගෙන යන්න හදනකොටම මම හිතන්නේ හිත ආයේමත් නැවතුනා..පස්සේ ගල් වුණා.දැන් ගල් බෝරයක්වත් දාන්න වෙයි මේක පුපුරවන්න​......

ඔයා ඇහැව්වේ නැද්ද ඇයි කියලා...

නෑ...

ඒ ඇයි....?

මිනිස්සු කියන්නේ ඇසි පිය සලන වේගයෙන් වෙනස් වෙන ජාතියක් කියන එක මම ආයේමත් සනාථ කරගත්තා.....

හ්ම්ම්ම්ම්ම්ම්....!

තවම ආසද හිම බලන්න යන්න​....?

ඔව්....හැබැයි තනියම​,එච්චරයි....!

'අතහැරදැමීමට වඩා 
 ප්‍රතික්‍ෂේප වීම 
 තරම් වේදනාකාරී 
 හැඟිමක් තවත් නැති තරම්....'

-මොණරි-

No comments:

Post a Comment

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...