Thursday, 23 March 2017

අපි දෙන්නයි කතා ගොඩයි - 02


මිනිහෙක් හුස්ම ගන්නවා කියන්නේ මොකක්ද​? ඒ මිනිහා ජිවත් වෙන කෙනෙක් කියන එක​,හුස්ම වැටෙන හැම මිනිහම එතකොට ජිවත් වෙන මිනිහෙක්,අපි ජිවත් වෙන්න හුස්ම ගන්න ඕනා හිතලද​? එහෙමත් නැත්නම් ආයාසයකින් ද​? 'අහ් මට හුස්ම ගන්න අමතක වුණානේ,මම දැන් හුස්ම ගන්න ඕනේ නේද​?නැත්නම් මම මැරෙයි නේද​? කොහොම හරි හුස්ම ගන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ නැත්නම් වසලා හමාරයි...'එහෙමද අපි හුස්ම ගන්න ඕනා....නෑ..සරලවම කිව්වොත් අපිට හිතලා හුස්ම ඉහළ අල්ලන් ඉන්න පුලුවන්,හැබැයි හුස්ම ගන්නවා කියන්නේ හිතලා මතලා හුස්ම ගන්න ඕනා කියලා නියම වෙලා නැති ක්‍රියාවලියක්.හැබැයි අපි හුස්ම ගන්නවා,ඕනම ජරා ගොඩක වුණත්,ඕනම ගඳ ගහන තැනක වුණත් අපි හුස්ම ගන්නවා.ඒ අපි ජිවත් වෙන්නේ හුස්ම ගන්න නිසා....

'එතකොට......?'

'මට හුස්ම ගන්නවද කියලවත් දැනෙන්නේ නෑ...'

'ඒ ඇයි...?'

'ඔයා නිසා.....'

'අපේ සුදු අම්මා කාලයක් වැඩ කළා.උගත් පිස්සෝ ඉන්න තැනම මේට්‍රන් කෙනෙක් විදියට...'

'උගත් පිස්සෝ...?'

'හ්ම්ම්ම්...ඔව් උගත් පිස්සෝ...ඒ කියන්නේ උගත් කම වැඩි වෙලා ඒකේ අන්තයටම ගිහින් පිස්සු හැදුන අය​...ලෝයර්ස් ලා,ඩොක්ටර්ස් ලා,ටීචර් ස්ලා එක එක විදියේ අය​.මම ඉස්සර ඔතන නිතරම යන එන තැනක්..සමහරු ඇවිදින විශ්ව කෝෂ වගේ..හිතාගන්න බෑ...ඒත් ඔය අතරේ හිටියා ටිකක් අමුතු කෙනෙක්..කොයි වෙලාවේ බැලුවත් පොතකුයි පෑනකුයි අතේ තියන් හිනා වෙනවා බලාගෙන ඉන්නවා..කවි ලියනවා...ඒත්  ඒ ලියලා තියෙන විදියට ඒ අකුරු හොයාගන්න හරි අමාරුයි...වෙද අකුරු වගේ...වයස ඇති අවුරුදු 55ක් විතර​..ඒ කෙනා මෙහෙට එන්න කලින් පිටරට ඉඳලා තියෙන්නේ අවුරුදු ගාණක් වැඩ කරලා තියෙන්නේ නම ගිය වාහන කම්පැනියක. ලොකු තනතුරක් දරපු කෙනෙක්.පෙනුම එහෙම හරිම සැනසිලි පාටයි,කීප වතාවක්ම එයා එක්ක කතා කරන්න උත්සහ කළත් මට ඒකට එතනට ගිය කිසිම අවස්ථාවක ඒ කෙනා එක්ක කතා කරන්න බැරි වුණා.දවසක් මම සුදු අම්මට පණිවිඩයක් අරන් යනකොට සුපිරිම පන්නයේ කාර් මෝටර් රථයකින් එයාව බලන්න ලොකු නෝනා කෙනෙක් ඇවිත් උන්නා...මොන මොනවදෝ එයාට කිව්වා.ඒත් එයා නෙවෙයි කනකටවත් ගත්තේ...පස්සේ ඇතුළට ගිහින් සල්ලි වගයක් ගෙවලා.සුදු අම්මා එක්කත් කතා කරලා තමයි ගියේ...හැබැයි හරිම කලබලෙන් ගිය ගමනක් බව නම් තේරුණා...'

'කවුද සුදු අම්මේ ඒ ඇවිත් ගිය කෙනා...?

'ඒ අර රේමන් ගේ අක්කා..එයා විතරයි ඉන්නේ ඒ මනුස්සයගේ පවුලේ ඒ මනුස්සයව බලලා යන්න එන්න​...ඔය රට ඉඳලා ගිය සතියේ ඇවිත් තියෙන්නේ....හරිම හොඳ ගෑණු කෙනෙක්.....'

සුදු අම්මා එදා එහෙම කියනකොට තමයි මම ඒ මනුස්සයගේ නම රේමන් කියලා දැනගත්තේ...එතකොටත් මිදුලේ ගල් බංකුව උඩ වාඩි වෙලා රේමන් අර පොතේ මොනවදෝ කුරුටු ගගා හිටියේ...මට එතනට යන්න හිතුනත් මම ආයෙමත් නතර වුණා...මම ආයේ සුදු අම්මව හොයාගෙන කුස්සිය පැත්තට වැටුණා.ඒ වෙලේ එයා රෑ කෑම හදන්න බඩු ලෑස්ති කරනවා....මම ගිහින් එතනම මේසෙන් වාඩි වුණා...සුදු අම්ම කඩියා වගේ වැඩ..එයාට ත් දැන් සෑහෙන වයසයි..හැබැයි පුදුම හයියක් තිබුණ ගෑණු මනුස්සයෙක්.රේමන් ගැන මගේ හිතේ තිබ්බ එක එක විදියේ ප්‍රශ්න හිත ඇතුළේ කැකෑරෙන්න ගත්තා..ඔතන ඉන්න හැම කෙනා ගැනම කියලා තිබ්බත් සුදු අම්මට රේමන් ගැන කියන්න අමතක වුණා.මොකද එයා මේ තැනට ආවේ අලුතින් නිසා...ඉතින් මම තවත් මුනිවත රැක්කේ නෑ..

'රේමන් මොනවා වෙලාද සුදු අම්මේ මෙහෙට ගෙනත් දැම්මේ..අනික එහෙම පේන තරම් අසනීපයක් ඒ මනුස්සයට නෑනේ....'

'කිසිම කලබලයක් නැතිව ඉන්න මනුස්සයෙක්..හරිම හොඳයි,ජපානේ ඉඳලා තියෙනේ අවුරුදු ගාණක්..එහෙදිම තමා තරුණ කාලෙම ඔය විදියට වෙලා තියෙන්නේ..පස්සේ  එයාගේ අක්කා තමයි අර ආව නෝනා..දැන් මාස තුනකට කලින් එයාව මෙහේ භාර දීලා ගියේ..මේ තත්වේ ඉන්නැද් දි ඒ මනුස්සයෙගේ රස්සාව එක්ක මෙයාව බලන්න අමාරුයි කියලා මෙහෙට ගෙනත් ඇරලුවේ..තමන් ගේ පාඩුවේ ඉන්න මනුස්සයෙක් හැබැයි.කිව්වේ නම් කෙල්ලෙක් නිසා එහෙම වුණා  කියලා.'

'ඒ කිව්වේ කෙල්ල දාලා ගිහින් ද​?..'

'නෑ..මේ මනුස්සයා දරාගන්න බැරි තරමටම ඒ කෙල්ලට ආදරෙන් උන්නලු...කොටින්ම කිව්වොත් මිනිහට මිනිහවත් අමතක වෙන තරමටම​...'

'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............!'

මොකක්දෝ හේතුවකට මගේ මුලු හිත පුරාවටම දැනුනේ ඉදිකටු තුඩු වලින් තැනින් තැන අනිනකොට දැනන වේදනාව​..අන්න ඒ වේදනාව වගේ දෙයක්...එදා ඉඳන් රේමන් කියන්නේ මට අමතක නොවන මනුස්සයෙක්ව​...කොටින්ම කිව්වොතින් එයාට එයාව අමතක වෙන්නම එයා අදරේ කරලා.......'

'විහිලු නෙවෙයි එයා ඇත්තටම එහෙමයි.....'

'හා ඉතින් දරුවෝ..මම නෑ  කිව්වද​?..'

'ඔය ඉතින් ඕකනේ...?'

මම එහෙම කිව්වේ දරුවෝ කියලා ආමන්ත්‍රණය කිරීම තුළ දෝරේ ගලාගෙන යන සෙනෙහසක් මට දැනන නිසා....

'අහන්න​...'

'අහන් ඉන්නේ.....'

'රේමන් ගැන මට පොතක් ලියන්නත් හිතුනා...ඒත් මට තවම එච්චර දෙයක් කරන්න බෑ...'

'නෑ..ඔයාට පුලුවන්...'

'බලමු...'

'දැන් මම ඔය කතාව කිවේ ඇයි දන්නවද.....?

'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..............!'

'මටත් මේ ආදරේ දරාගන්න බෑ....ඕනම දුකක් දරාගන්න පුලුවන්,ඒත් මේ ආදරේ දරගෙන ඉන්න බෑ..අර කවුද කිව්වා වගේ..හිතට දැනන දේවල් ඇයි මෙච්චරම බර​...මට හිතාගන්න බෑ....'

'හ්ම්ම්ම්ම් එහෙම තමයි දරුවෝ ආදරේ කියන්නේ...මොන මොන මට්ටම් වල ජිවත් වුණත් ආදරේ කියන්නේ පුදුමාකාර විදියට අපේ ජිවිත හසුරුවන දෙයක්...'

'ඒත් මට දැන් මාවම අමතක වෙලා....'

'එතකොට...?'

'මට රේමන් වගේ වෙන්න ඕනේ නෑ....'

හා ද....?

'හා පැටියෝ.......!'

'ඒ කියන්නේ මම දැන් පැන පැන ද යන්න ඕනා...? අර අත් දෙකත් කන දෙපැත්තෙන් තියාගෙන​....?'


ආදරෙයි කියලා නොකියා ආදරය කරනකොට ඒක මහා අමුතුයි...දැනෙනවා වැඩියි...ඒකයි මේ සේරම​.මිනිස්සු හුස්ම ගන්නේ ආයාසයකින් නැතිව වුණාට..ප්‍රේමය කියන දරාගැනීමෙදී හුස්ම ගන්න පවා මතක වෙන වෙලාවල් ඕන තරම්....

'මේ හිත උල්පතක්
ප්‍රේමය ම විතරක් උනන​
ප්‍රේමයම විතරක් පිරෙන​
ප්‍රේමය නම් 
දිය උල්පතකි
නුඹ නමින් කිසිදාක​
නොසිඳෙන​......!'


-මොණරි-

No comments:

Post a Comment

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...