Thursday, 23 March 2017

අපි දෙන්නයි කතා ගොඩයි -03(ii)



ජීවිතේ ඇයි මෙතනම නැවත්තුවේ...?

නැවත්තුවේ නෑ

එහෙනම්?

නැවතුනා

විශ්වාසයිද දරුවෝ තාමත්....?

මොකද්ද?

නැවතුනේ හරි තැනම කියලා?

ඔවු.... මම විශ්වාසකරනවා. පොඩි පොඩි දේවල් නොවුනම නෙමෙයි.ඒත් ඒ දේවල්නිසා ජීවිතේටත් වඩා විශ්වාසකරන දෙයක් අවිශ්වාසකරන්න මට ඕනේ නෑ...

දන්නවද... මම ඔයාට ආදරේ ඇයි කියලා?

නෑ....

මට වඩා හාත්පසින්ම වෙනස් නිසා

ඒත් හැමෝම කියන්නේ එකතුවෙන්න ඕනේ එකවගේ දෙන්නෙක් කියලයි

ඔයාට පේනවද අර ඈත තියන ගස් දෙක?

ඕ.....

බලන්න.... එක ලඟ හිටියට එකක අත්තක් අනිකේ ගෑවෙන්නෙවත් නෑ. හරියට ගෑවුනොත් රිදෙයි කියලා වගේ.... ඒවා ලඟයි කියලා පෙන්නම් හිටියට ඇත්තටම ඒවා හරි දුරයි

ම්ම්ම්ම්....

පේනවද අර වම් පැත්තේ ගහේ ගිහින් තියන වැල? ගහේ මුළු කඳේම පැතිරිලා. ඒ දෙන්නා එහෙම කිට්ටුවෙන් ඉන්නේ ඒ දෙන්නා වෙනස් නිසා. ඒ දෙන්නා වෙනස් කියලා දෙන්නට දෙන්නා දන්න නිසා.

ඒ කිවුවේ...?

බලන්න...ගහ දන්නවා වැලට එයාව ඕනේ කියලා.ඉතින් ගහ එයාව තුරුල්කරගන්නවා... හයි....යෙන්. ඒ වැල ගැන අනුකම්පාවෙන් නෙමෙයි. වැලට තියන ආදරේට. වැල දන්නවා ගහ නැත්තම් එයාට නිදහසේ පැතිරෙන්න බෑ කියලා. ඉතින් වැලත් හයියෙන් ගහ බදාගන ඉන්නවා.ඒ ආත්මාර්තෙට නෙමෙයි. ගහට  ආදරේ නිසා. නැත්තන් එයාට වෙන ගහක් තෝරගන්න තිබ්බනේ. ඒකයි මම කියන්නේ.... ගහකට ගහක්වත්, වැලකට වැලක්වත් ගැලපෙන්නේ නෑ. නිදහසේ පැතිරෙන්නනම් ගහකුයි වැලකුයි වෙන්නම ඕනේ.

මම ආදරෙයි ඔයාට....

දන්නවද ඔහොම බදාගන්නකොට මට හිතෙන්නේ මොනවද කියලා?

නෑ

බදාගන මිරී.....කන්න හිතෙනවා

හා

මොකද්ද....?

මිරිකන්න මාව....මිරී..කගන පොඩී...කරලා ඔය හිත ඇතුලේ මාව හංගන්න.... ආපහු කවමදාවත් මට යන්න ඕනේ උනත් , යන්න බැරි විදිහට

බෑ

ඇයි?

ආදරේ කියන්නේ අයිතිකරගන්න එකම නෙමෙයි දරුවෝ.... එනකම් බලං ඉන්න එකට

කොච්චරකල් බලං ඉන්නවද මම එනකම්?

ඔයා එනකම්ම

කොහොමද?

හිම ගොඩක් උඩ වාඩිවෙලා

ඇයි හිම ගොඩක් උඩම?

ඔයා හිමවලට ආස නිසා...ඔයා කවදම හරි හිම හොයාගන එනවා කියලා දන්න නිසා

අනේ....

මොකද... ඉන්න එපාද?

මරනවා ගිහින් හිටියොත්.... මම එන්න කලින්

උම්මා දීලද?

මොකටද ?

මරන්නේ?

නෑ...හපලා... ඒත්

මොකද ඒත්?

හිම දියවෙයිද දන්නේ නෑ ඔයාගේ ආදරෙන්?

ඒ කොහොමද?

ඔයාගේ ආදරේ හරි රස්නෙයි.ඒ රස්නෙට

නෑ... මම පරිස්සමට ඉන්නම්....එනකම්ම

ඔයාට එපාවෙයි... බලන් ඉඳලම

නෑ... ඔයත් අර වැල වගේ මම බලන් ඉන්න හිංදම දුවලා එන්න

ඉන්නවද මම එනකල්ම?

ඔවු...

කොහේට වෙලාද?

අටකාමාවට වෙලා.... හිම අස්සේ

ඇයි එහේ?

හිම මැද්දේ මල් පිපුනහම ලස්සනයි... ඒකයි...

පිණි බිංදු විසුරුවන
වලාකුළු අතරමැද
නුඹ දිනක සඟවාපු
ජීවිතය තුරුළුකර
යලි හුස්ම පිඹිනු මැන
හිනහෙන්න හැමදාම

ආදරය කියලා කියන්නේ ජීවිතයටම'මයි දරුවෝ

-මොණරි-

අපි දෙන්නයි කතා ගොඩයි -03(i)



'නුඹ මගෙන් මා උඳුරාගත් කළ,
 මා කෙසේ නම් නුඹෙන් මා සොයම්ද.,
 මට මාවම අහිමි වූ කළ....,
 මම කෙසේ නම් මම වෙන්නට.....,
 වෙර දරම්ද.......,
 නුඹ මගෙන් මා උඳුරාගත් කළ...,
 මම කෙසේ නම් නුඹෙන් මා සොයම්ද,
 උමතුවෙන් මා නැවත නැවතත් 
 සොයන්නේ.....,
 මගෙන් මාවම මිසක....,
 මට අහිමි වු නුඹව නොවේය....'

මුලක් මැදක් අඟක් ගැන හිතන්නේ නැතිව ලියන කතා සමහර වෙලාවට ඉවර වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි තරම්..සමහර වෙලාවට ඒ කතා ඉවර කරන්න හිතන්න කලින්ම අපි දන්නෙම නැතිව ඉවර වෙලා..එහෙම ඉවර වෙන කතා වලට කියන නමක්වත් හිතාගන්න බෑ...ඒ වගේ කතා සමහර වෙලාවට භාගෙට දැකලා ඇහැරෙන හීන වගේ..හීන දකින්න හීන හැබෑ කරගන්න හැමෝටම අයිතියක් තියෙනවා.හැමෝටම ලස්සන ලස්සන හීන පෙන්වන්න පුලුවන්,ඒත් එක දෙයක්....,හැබෑ වෙන හීන වලට වගකියන්න ඉදිරියට එන කිසිම කෙනෙක් බිඳිලා යන හීන වලට වගකියන්නේ එන්නේ නෑ කියන දේ....

ආදරේම හීනයක් වුණ කෙනෙක්ට ඒ හීන එකින් එක පෝළිමට බිඳීගෙන බිඳීගෙන ගියාම ඇති වෙන්නේ තමන් ගැනම මහා ආත්මානුකම්පාවක්.ඒක තමයි දරුණුම දේ.තමන්ට තම ගැනම ආත්මානුකම්පාවක් ඇති වෙනවා කියන්නේ ඒක දරාගන්න බැරි වේදනාවක්.ඊට පස්සේ ඒ වගේ මිනිස්සු බය වෙනවා හීන දකින්න​,හීන මවන්න​.අපි බලන් ඉන්නව නම් අපේ හීන කවුරු හරි පාට පාට කොළ වලින් ඔතලා බන් දේසියක් උඩ තියලා අපිට ගෙනැවිත් දෙයි කියලා,ඒ තමයි අපි මවන සීනී බෝලම හීනය​.එතනින් තමයි අපි පත්තු වෙන්නේ.ඒකට කියන්නේ මහා පරිමාණයේ බලාපොරොත්තු කියලා.

දැන් මොකක්ද මේ හීන හීන කියන්නේ?

හීන කියන්නේ හීන වලට..සමහර වෙලාවට හීන අපි කාට හරි බලෙන් පෙන්වන්න හදනවා.එහෙම වුණාම වෙන්නේ අපේ හීනත් කුඩුපට්ටම් වෙලා යන එකයි....

හ්ම්ම්ම්ම්ම්....!

ඉතින් දරුවෝ ඔයා ඇයි කාටවත් බලෙන් හීන පෙන්නන්න හදන්නේ...
?

නෑ මම බලෙන් හීන පෙන්නන්න ගියේ නෑ..මම හිතුවා මම වගේම එයත් හීන මවනවා ඇති කියලා..හැම පුංචි දෙයක් ගැනම​..ඒත් වුණේ වෙන දෙයක්....පීනන්න තියා හබල් ගහන්නවත් දන්නේ නැති මාව ඔරුවකට නග්ගලා හබලක්වත් නොදී එයා අතුරුදහන් වුණා.එක පාරටම,කිසිම දෙයක් කියන්නේ නැතිව​.දැන් මම මේ මහා සාගරය මැද්දේ තනි වෙලා..කරකියාගන්න දෙයක් නැතිව​....

හ්ම්ම්ම්ම්ම්ම්....

අර හිම බලන්න යමු කිව්වේ එයා ද​?

හ්ම්ම්ම්ම්ම්ම්......!

සංසාරෙක හැටියක් කියලා තමයි දැන් ඉතින් කියන්න වෙන්නේ...ජිවිතේ කියන්නේ මට ඔයාට අයිති දෙයක්.ඒකට ඔය එන එන හැම මනුස්සයට ලගින්න දෙන්න එපා..එතකොට මේක පාලු අම්බලමක් වගේ...

පන්සල පල්ලිය කියන්නෙත් හුඟක් අය යන එන තැනක් නේ ඉතින්..කෝ ඒවා අම්බලම් වගේ නෑනේ..

ඔව් ඉතින් ඒවා මිනිස්සු හීන හැබෑ  කරලා දෙන්න දෙයියනේ කියලා ඉල්ලගෙන එන තැනක්  නේ....ජිවිතේ කියන්නේ පන්සලක් පල්ලියක් කෝවිලක් වගේ නෙවෙයිනේ...

හ්ම්ම්ම්ම්ම්ම් ඒකත් ඇත්ත​...තියෙන තරමක් විසිරුණු හීන මිනිස්සු එක්කහු කරගෙන යන්න එන්නේ ඔතනින්..ඉතින් අපේ මිනිස්සු කවද්ද ඇහුම් කන් දෙන්න පුරුදු වුණේ.

ඒත් සමහරු කිව්වා 'මම ආසම අහන් ඉන්න' කියලා...

ඉතින් ඒ අය අහන් ඉන්නැති...

නෑ...ඇත්තටම එයාලා එහෙම කියලා තියෙන්නේ කියන්න දෙයක් නැති නිසා..

කෝ මේ ඊයේ පෙරේදා ආදරේ දරාගන්න බෑ කියලා මැරෙන්න ගිය කෙල්ල​.....?

ඒ කෙල්ල තාම ඉන්නවා...මේ ඉන්නේ ගහක් ගලක් වගේ....හිත දිය වෙවී දිය වෙවී ගලාගෙන යන්න හදනකොටම මම හිතන්නේ හිත ආයේමත් නැවතුනා..පස්සේ ගල් වුණා.දැන් ගල් බෝරයක්වත් දාන්න වෙයි මේක පුපුරවන්න​......

ඔයා ඇහැව්වේ නැද්ද ඇයි කියලා...

නෑ...

ඒ ඇයි....?

මිනිස්සු කියන්නේ ඇසි පිය සලන වේගයෙන් වෙනස් වෙන ජාතියක් කියන එක මම ආයේමත් සනාථ කරගත්තා.....

හ්ම්ම්ම්ම්ම්ම්....!

තවම ආසද හිම බලන්න යන්න​....?

ඔව්....හැබැයි තනියම​,එච්චරයි....!

'අතහැරදැමීමට වඩා 
 ප්‍රතික්‍ෂේප වීම 
 තරම් වේදනාකාරී 
 හැඟිමක් තවත් නැති තරම්....'

-මොණරි-

අපි දෙන්නයි කතා ගොඩයි - 02


මිනිහෙක් හුස්ම ගන්නවා කියන්නේ මොකක්ද​? ඒ මිනිහා ජිවත් වෙන කෙනෙක් කියන එක​,හුස්ම වැටෙන හැම මිනිහම එතකොට ජිවත් වෙන මිනිහෙක්,අපි ජිවත් වෙන්න හුස්ම ගන්න ඕනා හිතලද​? එහෙමත් නැත්නම් ආයාසයකින් ද​? 'අහ් මට හුස්ම ගන්න අමතක වුණානේ,මම දැන් හුස්ම ගන්න ඕනේ නේද​?නැත්නම් මම මැරෙයි නේද​? කොහොම හරි හුස්ම ගන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ නැත්නම් වසලා හමාරයි...'එහෙමද අපි හුස්ම ගන්න ඕනා....නෑ..සරලවම කිව්වොත් අපිට හිතලා හුස්ම ඉහළ අල්ලන් ඉන්න පුලුවන්,හැබැයි හුස්ම ගන්නවා කියන්නේ හිතලා මතලා හුස්ම ගන්න ඕනා කියලා නියම වෙලා නැති ක්‍රියාවලියක්.හැබැයි අපි හුස්ම ගන්නවා,ඕනම ජරා ගොඩක වුණත්,ඕනම ගඳ ගහන තැනක වුණත් අපි හුස්ම ගන්නවා.ඒ අපි ජිවත් වෙන්නේ හුස්ම ගන්න නිසා....

'එතකොට......?'

'මට හුස්ම ගන්නවද කියලවත් දැනෙන්නේ නෑ...'

'ඒ ඇයි...?'

'ඔයා නිසා.....'

'අපේ සුදු අම්මා කාලයක් වැඩ කළා.උගත් පිස්සෝ ඉන්න තැනම මේට්‍රන් කෙනෙක් විදියට...'

'උගත් පිස්සෝ...?'

'හ්ම්ම්ම්...ඔව් උගත් පිස්සෝ...ඒ කියන්නේ උගත් කම වැඩි වෙලා ඒකේ අන්තයටම ගිහින් පිස්සු හැදුන අය​...ලෝයර්ස් ලා,ඩොක්ටර්ස් ලා,ටීචර් ස්ලා එක එක විදියේ අය​.මම ඉස්සර ඔතන නිතරම යන එන තැනක්..සමහරු ඇවිදින විශ්ව කෝෂ වගේ..හිතාගන්න බෑ...ඒත් ඔය අතරේ හිටියා ටිකක් අමුතු කෙනෙක්..කොයි වෙලාවේ බැලුවත් පොතකුයි පෑනකුයි අතේ තියන් හිනා වෙනවා බලාගෙන ඉන්නවා..කවි ලියනවා...ඒත්  ඒ ලියලා තියෙන විදියට ඒ අකුරු හොයාගන්න හරි අමාරුයි...වෙද අකුරු වගේ...වයස ඇති අවුරුදු 55ක් විතර​..ඒ කෙනා මෙහෙට එන්න කලින් පිටරට ඉඳලා තියෙන්නේ අවුරුදු ගාණක් වැඩ කරලා තියෙන්නේ නම ගිය වාහන කම්පැනියක. ලොකු තනතුරක් දරපු කෙනෙක්.පෙනුම එහෙම හරිම සැනසිලි පාටයි,කීප වතාවක්ම එයා එක්ක කතා කරන්න උත්සහ කළත් මට ඒකට එතනට ගිය කිසිම අවස්ථාවක ඒ කෙනා එක්ක කතා කරන්න බැරි වුණා.දවසක් මම සුදු අම්මට පණිවිඩයක් අරන් යනකොට සුපිරිම පන්නයේ කාර් මෝටර් රථයකින් එයාව බලන්න ලොකු නෝනා කෙනෙක් ඇවිත් උන්නා...මොන මොනවදෝ එයාට කිව්වා.ඒත් එයා නෙවෙයි කනකටවත් ගත්තේ...පස්සේ ඇතුළට ගිහින් සල්ලි වගයක් ගෙවලා.සුදු අම්මා එක්කත් කතා කරලා තමයි ගියේ...හැබැයි හරිම කලබලෙන් ගිය ගමනක් බව නම් තේරුණා...'

'කවුද සුදු අම්මේ ඒ ඇවිත් ගිය කෙනා...?

'ඒ අර රේමන් ගේ අක්කා..එයා විතරයි ඉන්නේ ඒ මනුස්සයගේ පවුලේ ඒ මනුස්සයව බලලා යන්න එන්න​...ඔය රට ඉඳලා ගිය සතියේ ඇවිත් තියෙන්නේ....හරිම හොඳ ගෑණු කෙනෙක්.....'

සුදු අම්මා එදා එහෙම කියනකොට තමයි මම ඒ මනුස්සයගේ නම රේමන් කියලා දැනගත්තේ...එතකොටත් මිදුලේ ගල් බංකුව උඩ වාඩි වෙලා රේමන් අර පොතේ මොනවදෝ කුරුටු ගගා හිටියේ...මට එතනට යන්න හිතුනත් මම ආයෙමත් නතර වුණා...මම ආයේ සුදු අම්මව හොයාගෙන කුස්සිය පැත්තට වැටුණා.ඒ වෙලේ එයා රෑ කෑම හදන්න බඩු ලෑස්ති කරනවා....මම ගිහින් එතනම මේසෙන් වාඩි වුණා...සුදු අම්ම කඩියා වගේ වැඩ..එයාට ත් දැන් සෑහෙන වයසයි..හැබැයි පුදුම හයියක් තිබුණ ගෑණු මනුස්සයෙක්.රේමන් ගැන මගේ හිතේ තිබ්බ එක එක විදියේ ප්‍රශ්න හිත ඇතුළේ කැකෑරෙන්න ගත්තා..ඔතන ඉන්න හැම කෙනා ගැනම කියලා තිබ්බත් සුදු අම්මට රේමන් ගැන කියන්න අමතක වුණා.මොකද එයා මේ තැනට ආවේ අලුතින් නිසා...ඉතින් මම තවත් මුනිවත රැක්කේ නෑ..

'රේමන් මොනවා වෙලාද සුදු අම්මේ මෙහෙට ගෙනත් දැම්මේ..අනික එහෙම පේන තරම් අසනීපයක් ඒ මනුස්සයට නෑනේ....'

'කිසිම කලබලයක් නැතිව ඉන්න මනුස්සයෙක්..හරිම හොඳයි,ජපානේ ඉඳලා තියෙනේ අවුරුදු ගාණක්..එහෙදිම තමා තරුණ කාලෙම ඔය විදියට වෙලා තියෙන්නේ..පස්සේ  එයාගේ අක්කා තමයි අර ආව නෝනා..දැන් මාස තුනකට කලින් එයාව මෙහේ භාර දීලා ගියේ..මේ තත්වේ ඉන්නැද් දි ඒ මනුස්සයෙගේ රස්සාව එක්ක මෙයාව බලන්න අමාරුයි කියලා මෙහෙට ගෙනත් ඇරලුවේ..තමන් ගේ පාඩුවේ ඉන්න මනුස්සයෙක් හැබැයි.කිව්වේ නම් කෙල්ලෙක් නිසා එහෙම වුණා  කියලා.'

'ඒ කිව්වේ කෙල්ල දාලා ගිහින් ද​?..'

'නෑ..මේ මනුස්සයා දරාගන්න බැරි තරමටම ඒ කෙල්ලට ආදරෙන් උන්නලු...කොටින්ම කිව්වොත් මිනිහට මිනිහවත් අමතක වෙන තරමටම​...'

'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............!'

මොකක්දෝ හේතුවකට මගේ මුලු හිත පුරාවටම දැනුනේ ඉදිකටු තුඩු වලින් තැනින් තැන අනිනකොට දැනන වේදනාව​..අන්න ඒ වේදනාව වගේ දෙයක්...එදා ඉඳන් රේමන් කියන්නේ මට අමතක නොවන මනුස්සයෙක්ව​...කොටින්ම කිව්වොතින් එයාට එයාව අමතක වෙන්නම එයා අදරේ කරලා.......'

'විහිලු නෙවෙයි එයා ඇත්තටම එහෙමයි.....'

'හා ඉතින් දරුවෝ..මම නෑ  කිව්වද​?..'

'ඔය ඉතින් ඕකනේ...?'

මම එහෙම කිව්වේ දරුවෝ කියලා ආමන්ත්‍රණය කිරීම තුළ දෝරේ ගලාගෙන යන සෙනෙහසක් මට දැනන නිසා....

'අහන්න​...'

'අහන් ඉන්නේ.....'

'රේමන් ගැන මට පොතක් ලියන්නත් හිතුනා...ඒත් මට තවම එච්චර දෙයක් කරන්න බෑ...'

'නෑ..ඔයාට පුලුවන්...'

'බලමු...'

'දැන් මම ඔය කතාව කිවේ ඇයි දන්නවද.....?

'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..............!'

'මටත් මේ ආදරේ දරාගන්න බෑ....ඕනම දුකක් දරාගන්න පුලුවන්,ඒත් මේ ආදරේ දරගෙන ඉන්න බෑ..අර කවුද කිව්වා වගේ..හිතට දැනන දේවල් ඇයි මෙච්චරම බර​...මට හිතාගන්න බෑ....'

'හ්ම්ම්ම්ම් එහෙම තමයි දරුවෝ ආදරේ කියන්නේ...මොන මොන මට්ටම් වල ජිවත් වුණත් ආදරේ කියන්නේ පුදුමාකාර විදියට අපේ ජිවිත හසුරුවන දෙයක්...'

'ඒත් මට දැන් මාවම අමතක වෙලා....'

'එතකොට...?'

'මට රේමන් වගේ වෙන්න ඕනේ නෑ....'

හා ද....?

'හා පැටියෝ.......!'

'ඒ කියන්නේ මම දැන් පැන පැන ද යන්න ඕනා...? අර අත් දෙකත් කන දෙපැත්තෙන් තියාගෙන​....?'


ආදරෙයි කියලා නොකියා ආදරය කරනකොට ඒක මහා අමුතුයි...දැනෙනවා වැඩියි...ඒකයි මේ සේරම​.මිනිස්සු හුස්ම ගන්නේ ආයාසයකින් නැතිව වුණාට..ප්‍රේමය කියන දරාගැනීමෙදී හුස්ම ගන්න පවා මතක වෙන වෙලාවල් ඕන තරම්....

'මේ හිත උල්පතක්
ප්‍රේමය ම විතරක් උනන​
ප්‍රේමයම විතරක් පිරෙන​
ප්‍රේමය නම් 
දිය උල්පතකි
නුඹ නමින් කිසිදාක​
නොසිඳෙන​......!'


-මොණරි-

Wednesday, 22 March 2017

අපි දෙන්නයි කතා ගොඩයි - 01


කතාවක් ලස්සන වෙන්න නම් ඒ කතාවේ ආකර්ශණීය ආරම්භයක් තියෙන්න ඕනා,ඒ වගේම මනස්කාන්ත ගලා යාමක් සහ විශිෂ්ඨ යැයි කිවහැකි,සරලව කිව්වොතින් ගින්දර වගේ අවසානයක් තියෙන්නත් ඕනා.
නමුත් ඒ විදියේ එකකට එකක් ගළපලා ලියන්න තරම් ගැළපුණ කතා අපි හැමෝගෙම ජිවිත වල නෑ.හැබැයි හැම කෙනෙක්ගේම ජිවිත වල දුක හිතිලා අඬන්න පුලුවන් වගේම​,පැලෙන්න සතුට දැනිලා හිනා වෙන්න පුලුවන් ඕන තරම් කතන්දර හුඟාක් තියෙන්න පුලුවන්.
කොතනින් පටන් අරන් කොතනින් ද නතර කරන්න ඕනා,කොතනද ලස්සනටම ලියන්න ඕනා,මොන වගේ තැන් ද ඉස්මතු කරලා ගන්න ඕනා ලස්සන කතාකාරයෝ නම් හරි අපූරූවට ඕවා ගළපන්න දන්නවා,ඒත් මම මේ ටික ලියනකොට හිතන්නෙත් මම මොනවද ලියන්න ඕනා කියලා,හැබැයි ඒකෙන් අනුමාන කරන්න එපා මේක මේ අරමුණක් නැතිව ඔහේ ලියවෙන අකුරු ගොඩාක් කියලා.එහෙම නෑ.මොනවම හරි ලියන්න ඕනා කියලා දෙයක් හිතට ආවත් තවම සිතිවිලි සහ අත්දෑකිම් අකුරු වලට පද වලට ගළපන්න හිත ලොකු අරගලයක​.ඒ මගේම නොවෙන මගේම කතාවක් ලියන්න​.
එතකොට?
දන්නවද මම ජිවිතේ දකින්න ආසම තැන කොහෙද කියලා?
හ්ම්ම්ම්ම්ම්ම් අදහසක් නෑ....කියන්නකෝ බලන්න​...?
"හිම​"
"සුදු පාට හිම​"
මට එක ම එක පාරක් හිම බලලා එන්න තිබ්බා නම්...
එච්චරටම හිම වලට ආස මොකද​?
මම හිතන්නේ ඒවා හරි සිනි දු ඇති,වෙලාවකට හිතෙනවා හිම නිකන් ග්ලූකෝස් වගේ වෙන්නැති කියලා...සුදුම සුදු පාටට සිනිඳුවට,හැබැයි පැණි රස නම් නැතිව ඇති.....
මේ බලන්න ඔයා දැක්කද මේක​....
'ලෝ දිය ගලා ශුෂ්ක වෙන 
ඉරි තැලුණූ පොළෝ මත​
හීනී පොද වැස්සකින්
අටකාමා පිපුණී නේක පාටින් 
දේදුන්නක් විලස​.....
ඉරිතැලී ගිය හිතට
හිම වැස්සක් හැලෙන දින​
වාවගනු නොහැකිව ගල් වේවී
සීතලට මේ මුලු හිතම​..........'
ඒක මාරයි....දන්නවද ඒක මාරයි.......
හ්ම්ම්ම්ම්ම්ම්ම්......
අහන්න​...,
හ්ම්ම්ම්ම්ම්ම්ම්.....,
අපි හිම බලන්න යනවා.....
හා ද​.....
හා......
ආදරෙයි කියලා කියන්නම් ඕනේ නෑ මට,ඒ හැම බැල්මකම එතර්ම්ම ආදරය පිරිලා තිබුණා,ආදරය ඕනා ඕනා විදියට එක එක හැඩතල වලට මම නවලා තියෙනවා,ඒත් ඇයි මෙහෙමම​...එහෙම තමයි ඒක දැනෙනකොට දරාගන්න පවා සෑහෙන අමාරුයි,අයිස් කුට්ටියක ගල් වෙන්න දාලා තිබ්බ හිතකට පිච්චිලා යන විදියේ උණුහුමක් දැනනකොට අර පණ නැතිව අයිස් බහාලුමේ තිබ්බ හිත ගැහන්න ගන්නවා,ටිකෙන් ටික​.ඒ තමයි ආදරය දැනෙන විදිය​,ආදරණීයම උණුහුමක් ළඟදි හිත දියවෙන විදිය​.
අහන්න​.....
හ්ම්ම්ම්ම්ම්ම්.....
ඔයා දන්නවද මේ මොහොතේ දැනෙන දේ විතරක්ම විශ්වාස කරපු මට,දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා....
මොකක්ද​...?
එදා ඉදන් මේ මොහොත වෙනකන්ම ඔයාව දැනෙන්න අරන්..
එතකොට.....?
ඒතකොට කොට කොට මේ හිත ඔයාවම හොයන්න පටන් අරන්.....
හෙහ්...පිස්සි.....!
පිස්සු නම් තමයි....පිස්සුව ඇතුළේ තමයි සතුට තියෙන්නේ.....
ඔයාගේ මහාප්‍රාණ...අනේ මන්දා.....
ජිවිතේම මහාප්‍රාණයක් වෙලා තිබුණු කාලයක සරළව මෙහෙමත් එක රැයකින් ඒ විදිය වෙනස් වෙන්න පුලුවන් ද​?
ඇයි බැරි?
හ්ම්ම්ම්ම් ඔව් නේහ්....! ඇයි බැරි......!
තත්පරයෙන් වෙනස් වෙන ලෝකයක නේ අපි ඉන්නේ.....
ඔයා මේක දන්නවද?
වළාකුලු වල මල් වවන්න පුලුවන් කියලා....
අහ්.....! වළාකුලු කියන්නේ අහසේ තියෙන හිම වලට හැබැයි ඒවා ඉර එළියටවත් මිදෙන්නේ නෑ....
හ්ම්ම්ම්ම්ම්ම්..... ඔව්....
මගේ හිතේ ඒ වගේ වළාකුලු හැම තැනම​......
අඬන්න ළං වුණාම හිත වැහි වළාකුලු වගේ බරවෙනවා....
එතකොට....?
හෙණ ගගහා ගොරව ගොරව වහිනවා......,
හැබැයි එකම එක දෙයක්...හෙණ ගහනවා කාටවත් පේන්නෙත් නෑ
ගොරවනවා කාටවත් ඇහෙන්නෙත් නෑ.
හ්ම්ම්ම්ම්ම්ම් හා.......!
ඔයා තවමත් කැමති ද​?.....
මොනවටද​......?
මාව හිම බලන්න එක්ක යන්න​.....?
ඔව් හිම බලන්න එක්ක යනවා.......
දන්නවද එතකොට මට නිකන් මොන වගේ දෙයක් දැනෙයි ද කියලා.....?
'අටකාමාවේ මල් පිපිලා වගේ'
-මොණරි-

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...