Friday, 22 April 2016

අාදරණීය මුසන්ඩාස්...


අද ලෝක මිහිතල දිනයයි...

එහෙම කිව්ව ගමන්ම මට අපේ සීයව මතක් වුණා....

අපි එයාට ආදරේට කිව්වේ 'චුච්චු' කියලා. නැත්නම් චුච්චු තාත්තා කියලා. ඒ නමින් සීයට කතා කරන්න ගත්තේ එයාගෙ වැඩිමල්ම මිනිබිරී, මමයි. ඒත් මගෙන් පස්සේ ඉපදුණ ඔක්කොම පොඩි උන් ටිකත් සීයට කතා කළේ චුච්චු තාත්තා කියලා... මේ ලෝක මිහිතල දිනයට අදාළ කතාවක් නෙවෙයි මම කියන්න යන්නේ කියලා සමහරු හිතන්න පුලුවන්... ඒත් ලෝක මිහිතල දිනය කියද්දි ගස් කොළන් සතා සිව්පාවා මේ වගේ දේවල් එක්කම මට මතක් වුණේ චුච්චු තාත්තව.

ජිවිතේ මතකයන් කියන දේ අපිට ආයේ ආයෙමත් අලුත් කරලා දෙන සිද්ධින් නැතුවම නෙවෙයි. සමහරුන් අද අපි අතර නැති වුණත් මේ මතකයන් සඳහටම අපේ හිත් අරක්ගෙන ඉන්නවා. අපේ චුච්චු තාත්තා විතරක් නෙවෙයි, අපේ තාත්තා පවා ගස් කොළන් වලට අසීමීතව ආදරෙයි... විශේෂයෙන් චුච්චු තාත්තා...

මම සීයට චුච්චු කියන්න පටන් අරන් තියෙන්නේ මම පොඩි කාලේ. අම්මා රට ඉන්නකොට මාව බලාගත්තේ සුදු අම්මයි සීයයි. ඉතින් මම අඬනකොට සුදු අම්මා මාව නළවලා තියෙන්නේ, 'ඉන්න පුතේ සීයා චුච්චු අරන් දැන් එයි' කියලලු... මම බහ තෝරන කාලේ නේ ඉතින්... ඉතින් මම ඒ කාලේ චුච්චු කියලා තියෙන්නේ කිරි වලට. ඒක නිසා සීයා කිරි අරන් එන නිසා මම එයාට චුච්චු තාත්තා කියන්න පුරුදු වුණා.

'බිමට කෑම දාන්න එපා 
අර පිඟාන තියෙන්නේ ඒකට දාන්න..'
'ඉතින් මේ සිමෙන්තියනේ?'
'එහෙනම් උඹත් සිමෙන්තියෙම කෑම දාන් කාහන්'

ඉස්සර කෑම කා ඉතුරු බිතුරු ටික අනා ගෙදර බල්ලට අඬගසා කුස්සිය පිටිපස්සේ සිමෙන්තියට දාන දවසක මට මතකයි චුච්චු එහෙම කිව්වා... වැඩි කතා බහක් නැති වුණත් එයා හරිම ආදරණීය කෙනෙක්... ඒත් ඒක අපිට ඒ හැටි පෙන්නුවේ නෑ...

අම්මලගේ මහගෙවල් තිබුණේ උස්වැටකෙයියාවේ, තවමත් එහේ තමයි, උස්වැටකෙයියාවේ, මුහුද අයිනෙමයි ගෙවල් තිබ්බේ. චුච්චු තාත්තා රස්සාවක් කියලා එක දෙයක් කළේ නෑ. එයා මුහුදු රස්සාවත් කළා, වඩු වැඩත් කළා, තව පෙදරේරු වැඩේත් කළා. ප්‍රධාන වශයෙන්ම කළේ වඩු වැඩ. මට මතකයි ලී වලට ලස්සනට කැටයම් දාන හැටි. ඒ අතින් එයාට පුදුම හැකියාවන් තිබුණා. 

අම්මලගේ මහගෙවල් ඉස්සරහා මිදුලේ මට මතක අැති කාලෙක ඉඳලම මුසන්ඩාස් ගහක් වවලා තිබ්බා... මුසන්ඩාස් කියන්නේ එහෙමත්ම සුවඳවත් පෙනුමවත් තියෙන මල් ජාතියක් නෙවෙයි, ඒත් ඒ ලොකුවට පිපෙන මල් අැතුළෙන් කහ පාටට පොඩි මලක් පිපෙනවා අන්න ඒ මලට නම් මම හුඟාක් ආස කළා. ඉස්සර අපි ඔය මල් කඩලා අර කහ පාට මල් එකතු කරලා මල් මාල හඳලා කරට දාගෙන සෙල්ලම් කරනවා... චුච්චු කැමති නෑ අපි ඔය ගහේ මල් කඩනවට, එයා හරිම ආසාවෙන් ආදරෙන් ඒ ගහ හැදුවේ, රෝස පාට ලොකු මල් පෙති අස්සේ කහ පාට මල් පිපෙන ඔය මුසන්ඩාස්  ගහ හිටවලා තියෙන්නෙත් එයාමයි.

'කවදා හරි ඔය ගහ කපපු දවසට පහුවෙනිදට මාවත් මැරිලා තියෙයි,'

ඕක විහිලුවට වගේ හැමතිස්සෙම සුදු අම්මා එක්කලා, අපේ අම්මලා එක්කලා එහෙම කියනවා මට අැහිලා තියෙනවා මතකයි. ඔය ගහේ මල් කොළ පිරිලා අතු බිමට බරවෙලා තියෙන දවසක එතනින් යන්න එන්න අමාරුයි කියලා මාමා ඔය ගහේ අතු ටිකක් කැපුවා කියලා චුච්චු තාත්තා සෑහෙන හිතේ අමාරුවෙන් හිටියේ. මට මතකයි මාමාට දවසක් ඕකට හොඳටම බැන්නා. හැබැයි ඒ අතු කපපු එකෙන් වත්ත එළිය වුණාට නොසෑහෙන්න අව්ව එන්න ගත්තා ගෙදරට... ඒ වගේම රස්නෙත්. මුහුදු අයිනේ තියෙන ගෙවල් නිසා දවල් කාලෙට ඒ පැත්ත ටිකක් රස්නෙයි, අර ගහ නිසා ගේ ඉස්සරහට මුලු වත්තටම ලොකු හෙවනක් තිබුණා.
ඔය වගේ අවුරුදු දහයක් විතර ඔය ගහ ගෙදරම දරුවෙක් වගේ හැදුණා. මාමාගේ කල වයසත් හරි ගිහින් එයා බඳින දවසත් ආවා. මහ ගෙදර ස්තෝප්පුවක් තිබ්බේ නෑ. ඉතින් මඟුල් ගෙවල් ළං වෙනකොට ගෙවල් අලුත් කරන එක සාමාන්‍ය දෙයක් නේ. මහගෙදර ස්තෝප්පුවක් තිබ්බේ නැති නිසා ඒකේ උවමනාවක් මාමටයි සුදු අම්මටයි තදින්ම තිබුණා. ඒත් එහෙම හදන්න නම් අර මුසන්ඩාස් ගහ කපන්න වෙනවා... චුච්චු තාත්තාට ඒක වටිනවා වුණාට අනිත් අය නම් ඒ ගැන ලොකුවට සැළකුවේ නෑ. ඉතින් කොහොම හරි ඒ මුසන්ඩාස් ගහ කැපුවා.. කපලා  ස්තෝප්පුවත් හැදුවා. එදා රෑ චුච්චු තාත්තා කෙලින් ඉන්නවත් බැරි තරමට බීලා අැවිත් නිදාගන්නවා මට මතකයි. පහුවෙනිදා ඉඳලා එයා සාමාන්‍ය විදියට වැඩ කළත් ඒ ගැන හිතේ අමාරුවන් ඉන්න අැති කියලා මට දැන් නම් හිතෙනවා.මාමගේ මඟුල් ගේ කටයුතුත් ලස්සන්ට කෙරුණා. එයා ඒ ගැනත් අලුත ගෙනා මනමාලි ගැනත් හරි සතුටින් හිටියා. මන් හිතන්නේ නැන්දම්මට වඩා මාමණ්ඩි තමයි අළුත් නැන්දට ආදරෙන් සැළකුවේ, හැබැයි එයා මුලු පවුලෙන් වැඩියෙන්ම ආදරේ කළේ ලොකු මල්ලිටයි කියලා නම් හැමෝම දන්නවා.. මාමාගේ කසාදේ සිද්ධ වෙලා මාසයක් විතර යනකොට අර මුසන්ඩාස් ගහේ මතකයත් අපේ මතකෙන් අෑත් වෙලා තිබ්බේ. 

මම පොඩි කාලේ ඉඳලම මිනිස්සුන්ව හිස්සවන්න උපන් හපනෙක්, කාව හරි කොපි කරලා එයා අැවිදන විදිය, කතා කරන විදිය, හැසිරෙන විදිය, ඕවා එහෙම කරලා පෙන්වනවා. එදා රෑත් අපි අම්මගේ අක්කගේ බාගෙට හදපු ගේ ඉස්සරහා අත්තිවාරම උඩ වාඩි වෙලා මුහුදු හුළං වැදි වැදි හිනා වෙවි හිටියේ... අපි හැමෝම එතන හිටියා. මුලු පවුල් තුනම එකතු වෙලා, එක එක කතා කිය කිය, හිනා වුණා. වැඩිපුරම මගේ කෝළම් වලට තමයි ඉතින්... කවුද බෝයි වගේ රඟපාන එකටයි ඒ සිංදුව කියපු හැටියටයි චුච්චු තාත්තා බඩ අල්ලන් හිනා වුණා.

'අනේ තව එක පාරක් කරන්න....,  තව එක පාරක්'

පොඩි  එකෙක් වගේ මගෙන් ඉල්ලපු හැටි මට හොඳට මතකයි. එදා තමයි අපි අන්තිමට චුච්චු එක්ක හිනා  වුණ දවස. ඊට සතියකට පස්සේ ලොකු ඔලුව කැක්කුමක් අැවිත් චුච්චු තාත්තා ඉස්පිරිතාලේ අරගෙන ගියා කියලා එහා ගෙදරට කෝල් කරලා මහප්පා කියලා තිබ්බා. ඉස්සර අපිට ෆෝන් තිබ්බේ නැහැ. ඉතින් මමයි අම්මයි මල්ලියි තාත්තයි කට්ටියම එදාම රෑ අම්මලගෙ මහ ගෙදර උස්වැටකෙයියාවේ ගියා. ඉතින් අපි හරියට දන්නෙත් නෑ චුච්චු තාත්තට මොකද වෙලා තියෙන්නේ කියලා,

'එක පාරටම වමනේ දාන්න ගත්තා පස්සේ ඔලුව බදාගෙන බිම වැටුනා'

නැන්දා එ හෙම කියනවා මට අැහුණා. කොහොම හරි දවස් 4ක් චුච්චු කොළඹ මහා ඉස්පිරිතාලේ නවත්තලා හිටියා. ඒත් දැඩි සත්කාර ඒකකයේ හිටපු නිසා එයාට කා එක්කවත් කතා කරන්න ලැබිලා නෑ. හැමෝම මාරුවෙන් මාරුවට ඉස්පිරිතාලේ ගියත් මාව කවුරුවත් එක්ක ගියේ නෑ. ඒත් මම හිතුවේ එයාට ඉක්මනින් සනීප වෙලා  අද හෙටම එයි කියලා.

එදා ඉරිදා දවසක් අපේ අම්මයි සුදු අම්මයි එදා උදෙන්ම ගියා මහප්පා එක්ක චුච්චු තාත්තා බලන්න. මමයි ලොකු මල්ලියි ඉස්සරහට වෙලා සෙල්ලම් කර කර හිටියේ... උදේ 7ට විතර අැති වෙලාව. එක පාරටම  කවුදෝ බයික් එකකින් අැවිත් අපිට අත වැනුවා... මමත් ලොකු මල්ලිත් දුවගෙන ගියා, එතකොටම ඒ මනුස්සයා අැහැව්වා 

' මේ ජෝසප් අයියලගේ ගෙදරද?

ජෝසප් කියන්නේ චුච්චු තාත්තගේ නම. මම 'ඔව්'  කියලා ඔලුව වැනුවා, ඒත් එක්කම ඒ අංකල් කිවා 

'පුතා අම්මට කියන්න එයා දැන් ටිකකට කලින් නැති වුණා කියලා'

දුකට එතන බිම පෙරළීලා අඬනවා වෙනුවට ලොකු මල්ලි එක්ක එක පිම්මේ දුවගෙ ගියේ මාමගේ කමරේට, ඒත් දොරකඩ එක පාරටම මාව හිට්ටවුනා, ඒ චුච්චු කියපු දෙයක් මතක් වෙලා, ඒ දවසක් මම මාමගේ කාමරේට කඩාගෙන බිඳගෙන කතා නොකර ගිය දවසක චුච්චු තාත්තා මට ඒක දැකලා කතා කරලා බැන්නා.

'අනිත් දවසේ කාමරේට යන්න කලින් කතා කරලා යන්න ඕනා '

මම එතනම හිට ගෙන මාමට කතා කළා. මාමා නිදි මරගාතේ එළියටා ආවා...

'ඇයි?'
'කවුද අංකල් කෙනෙක් ආවා එයා කිව්වා ටිකකට කලින් චුච්චු නැති වුණා කියලා'

මම ඒ අංකල් කියපු විදියටම කිව්වම එයා අඬාගෙන මහප්පලා ගෙදරට දිව්වා. නැන්දට කියන්න, ටිකකින් මර ළතෝනි දීලා එයත් අඬන්න ගත්තා, එතකොටයි මට තේරුණේ චුච්චු නැති වුණා කියන්නේ 'මැරිලා' කියන එක බව. ටික වෙලාවකින් අම්මා සුදු අම්මවත් ඇඟට හෙත්තු කරගෙන ගෙවල් පැත්තට එනවා දැක්කා... තවම මගේ අැස් වල කඳුලු  නෑ. ඒත් දුකකට වඩා මොකද වෙන්නේ හිතාගන්න බැරිව මම ගල් වෙලා හිටියා. සුදු අම්මා ආව ගමන් ස්තෝප්පුවේ බිම වාඩි වෙලා මහා හයියෙන් අැඬූවේ අර මුසන්ඩාස් ගහ ගැන කිය කිය.

ඒක කපපු දවසට එයත් මැරිලා ඉඳියි කියන එක ගැන කිය කිය පෙරලි පෙරලි ඇඬුවා .ඒක ඇත්ත නේන්නම් කියලා මටත් ඒ වෙලේ හිතුනා... මම හිතුවෙම චුච්චු අපිව දාලා යන්න ගියේ ඒ ගහ කපපු නිසයි කියලා. චුච්චු නැති වෙනකොට එයාට වයස 52 යි, මම මෑතක් වෙනතුරුත් අර කපපු මුසන්ඩාස් ගහයි චුච්චුගේ මරණයයි අතර ලොකු සම්බන්ධයක් ඇති කියලා හිතුවා. චුච්චු නැති වුණේ ඔලුවේ නහරයක් පුපුරලා ගිහින්.

'මේ ගහ කපපු දවසට මමත් මැරිලා ඉඳියි' 

එ් කතාව මගේ ඔලුවේ සෑහෙන කාලයක් හොල්මන් කළා වගේම, කවුරු හරි අතින් හිටවන ගහක් කැපුවොත් ඒ කෙනා මැරෙයි කියන එක මගේ හිතට තදින්ම කා වැදිලයි තිබුණේ. අැත්තටම ගස් කියන්නේ මොන තරම් සම්පතක් ද කියලා  මට නම් දැනෙන්නේ අර ගින්දර අව්වේ ගහක් යටකට ගියාමයි, සෙවන වගේම සිහිල.

චුච්චු තාත්තා කියන්නෙත් මගේ ජිවිතේ හිටිය ඒ වගේ මහා රූස්ස ගහක් අදටත් මතක හිටින.

3 comments:

  1. කොහොමටත් ගස් කැපුවට පස්සෙ අපට ඉන්න වෙන්නෙ නෑ :(

    ReplyDelete
  2. මේ විදිහම දෙයක් ගැන මටත් අත්දැකීමක් තියෙනවා. අපේ ආච්චි අම්මාගේ ගම හිදගල... ඔය පේරා කැම්පස් එක පාරේ ටිකක් ඇතුළට ගියා ම අර හිදගල රජමහා විහාරය පැත්තේ. ආච්චි අපේ සීයාව කසාද බැදලා පේරාදෙණියට ඇවිත් තියෙන්නේ අවුරුදු 14 දී.... ඒ කාලේ ඉතින් කලින් ම වාසනාව පෑදෙනවානේ.... හැක් ඊට පස්සේ අවුරුදු 80 ක් ම පේරාදෙණියේ ජීවත්වෙලා ඉදලා... පස්සේ අපේ ලොකු තාත්තා ගෙයක් හදාගෙන ආපහු හිදගල පැත්තට ගියා. ඒ ආච්චිගේ උපන් ගම වුණත් එයා එහෙ යන්න කැමති වුණේ නැහැ. ඒත් බලෙන් ම වගේ අන්තිමට එයාව අවුරුදු 80 ක් හිටපු ගෙදරින් අරන් ගියා. එයා එහෙ ගිහින් හිටියේ සතියක් විතර. එකපාරට ලෙඩ වෙලා හොදට ම අමාරු වෙලා සතියකින් නැතිවුණා.... ගෙදරදිමයි නැතිවුණේ.... ඒ වෙලාවෙත් අපි එතැන හිටියේ.....

    ඒ මිනිස්සු ජීවත් වෙන්නේ ස්වාභාවධර්මය, අත්දැකීම් වටපිටාව එක්ක.... ඒවා වෙනස් වුණාම ජීවිත වලටත් බලපානවා......

    ReplyDelete
  3. සොබාදහම මිනිසුන්ගේ ජීවිතේට කොච්චර සමීප ද?
    කළු මොනරි බලලා තියෙනවා ද Some Birds Can't Fly කියන ඉංග්‍රීසි ෆිල්ම් එක?

    මේ කතාව කියෝගෙන යනකොට මට මතක් වුනේ ඒ ෆිල්ම් එක.
    ඔය වගේම කතාවක් තමයි. එකේ ඉන්නේ පුංචි කෙලි පැටික්කියෙක්.

    ReplyDelete

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...