Sunday, 17 April 2016

ඕ ලෙවල් කෙල්ලගේ ජනාධිපති හීනය...!



පොඩි කාලේ මොන්ටිසෝරියේ අපිට උගන්වපු ටීචර් හරියට නිකන් ඉන්ද්‍රානි පෙරේරා වගේමයි. ඉතින්... මම ඉස්සර ටීචර් ගේ මූණටම ඕක බැරි බැරි ගාතේ කියනවා කියලා ටීචර් දැනටත් පාරේ දි මුණ ගැහුණමත් මට කියනවා. පොඩි කාලේ මේ ටීචර් පාට ගැන පාඩම උගන්වනකොට තැඹිලි ගෙඩිය තැඹිලි පාටෙන් පාට කරලා කිව්වා, 

'පුතේ මේ තියෙන්නේ තැඹිලි ගෙඩියක්. එතකොට මේක පාට කරලා තියෙන්නේ තැඹිලි පාටෙන්..'

ඊළඟට පොල් ගෙඩියෙ රූපෙ පෙන්නලා පාට කියන්න කිව්වාම මම පැනපු ගමන් කියපි; 

 'මේ තියෙන්නේ පොල් ගෙඩියක්. මේ පාට තමයි පොල් පාට' 

 මට ඔය සිද්ධි බොඳ වෙච්ච හීන වගේ තාමත් මතකයි ඉතින්. සමහරුන්ට නම් පොඩි කාලේ හුඟාක් සිද්ධි මතක් කරලා දෙන්නේ අම්මා හරි තාත්තා හරි නේ... ඒත් සමහර සිද්ධි මට හොඳට මතකයි. පස්සේ කාලෙක ස්කෝලේ ටීචර් කෙනෙක් අපෙන් ඇහැව්වම ළමයි ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා... මම කිව්වේ; 'අම්මා කෙනෙක් වෙන්න' කියලා. මට මතකයි ටීචර් හිනා වෙලා මගේ ඔලුවත් අත ගානවා.... හැබැයි ඊට පස්සේ ටීචර් කිව්වා; 

 'නෑ දුව මම ඇහැව්වේ ඩොක්ටර් කෙනෙක් වෙන්න ද එහෙමත් නැත්නම් ලෝයර් කෙනෙක් වෙන්න ද කියලා...' 

 මම එතකොට නම් කිව්වේ ටීචර් කෙනෙක් වෙන්නයි කියලා. අවුරුද්දෙන් අවුරුද්ද අපේ අරමුණු වෙනස් වෙන්න ගත්තා... ඒවා අපේ හැකියාවල් ආසාවල් එක්කම වෙනස් වෙන්න ගත්තා... ස්කෝලේ නවය වසරට වගේ එනකොට මම හිතාගත්තා මම උසස් පෙළට හදාරන්නේ කලා විෂයයන්මයි කියලා... 

'මම නම් ආර්ට් කරන්නේ සර්..' 

 මම ගණන් උගන්වන හේරත් සර්ට හවස උපකාරක පන්තියෙදි කිව්වා. සර් ඒක අහගන ඉඳලා බෝඩ් එකේ ගාණක් හදන ගමන් එදා හවස කියනවා... 

'ආර්ට් කරලා රස්සා හොයාගන්න බෑ දරුවෝ... කොමර්ස් වත් කලා නම් බැංකුවකට හරි යා ගන්න පුලුවන්. ආර්ට් කරලා මොන ඉටි ගෙඩියක් කරන්නද?' 

මේ මිනිහට පිස්සු... ආර්ට් කරලා ජොබ් නැත්නම් මොන කෙහෙල්මලකටද එහෙම විෂයයන් ඉස්කෝලේ සිලබස් වලට ඇතුළත් කරන්නේ? මම තනිවම හිත ඇතුලෙ කියනවා. 

'අනික කවුද ආර්ට් කරන ළමයින්ව ගණන් ගන්නේ අහ්...' 

හේරත් සර් උපැස් යුවළ නළලට උස්සලා මං දිහා බලලා කියනවා... තරහ නොගිහින් තියේ ද කාට වුනත්... 

'කමක් නෑ සර් ආර්ට් කරලා මටත් යන්න පුලුවන් තැනක් කොහේ හරි තියෙයි නේ..' 

මම ටිකක් සද්දෙට කියලා ගණන් හදන්න පටන් ගත්තා. ඇත්තටම ඔය සර්ට තරහ තිබ්බේ ආර්ට් විෂයයන් එක්ක නෙවෙයි... මා එක්කයි. ඒක තරහක්ම කියන්නත් බෑ. පොඩි කැපිල්ලක් වගේ එකක්. මොකද සතියට දවස් දෙකක් තියන ගණන් පංතියට මම ආවේ එක දවසක් විතරයි. අනික් දවසේ මම සිංහල පංතියට ගියා. ඒ සමන් සර් ගේ පංතිය. ඒ හේතුව හින්දා හේරත් සර් ඉඩ ලැබෙන හැම වෙලාවෙම මම ආර්ට් කරන එක ගැන ඇනුම් පද කියන්නට පුරුදු වී හිටියා. 'ආර්ට් කිරිල්ලෙන් පලක් නැති බව' හේරත් සර් පංතියේ හැම ළමයෙකුගේම මනසට ඉඩ ලැබෙන ලැබෙන විදියට එන්නත් කළා. ඒක මහා සාපරාධි ක්‍රියාවක් හැටියටයි මට හිතුණේ. වෙන උපකාරක පංතියක් සොයාගන්නට අනන්ත හිතුණා. ඒත් විභාගය අත ළඟ... යාළුවන් අතැරලා යන්නත් සිත් දුන්නේ නෑ.... ඉතින් මම අකමැත්ත යට කරගෙන ඉවසලා හිටියා. හේරත් සර් විතරක් නොවෙයි සමාජයේ බොහෝ දෙනෙක්, පාසල් වයසේ ළමුන් සහ දෙම්ව්පියන් පවා කලා විෂයයන් ගැන කතා කළේ ඉතාමත් අඩු තක්සේරුවෙන්. සමහර පාසල් වල උසස් පෙළ කලා විෂයයන් තිබුණේම නෑ. පෙළක් ඉහළ පාසල් වල ළමයින් උසස් පෙළ කලා විෂයයන් සඳහා අපේ පාසලට පැමිණි අවස්ථාත් තිබුණා. මේ ගැන මගේ හිතේ තිබුණේ සියුම් වේදනාවක්. උසස් පෙළ කරන වැඩිමල් අක්කලා අයියාලගෙන් නිතරම සැහැල්ලුවෙන් සිටියේ නම් කලා හදාරපු පිරිස විතරයි. 

මේ කාලේ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීමට කලින් පැවැත්වෙන අවසාන සම්න්ත්‍රණ වකවානුව. ඉතින් සුපුරුදු මුහුණු වගේම නුපුරුදු මුහුණුත් පංතිවල පිරිලා. එදා අඟහරුවාදා දවසක්; හේරත් සර්ගේ ගණිත සම්න්ත්‍රණය එදා දවස පුරාම. පහුගිය ප්‍රශ්න පත්‍ර නැවත සාකච්ඡා කිරීම සහ පාඩම් නැවත මතක් කරගැනීම. එදා ශාලාව පිරෙන්න සෙනඟ. විවිධ පළාත් වලින් ළමුන් පැමිණි සිටියා. හේරත් සර් ගණිතය ගැන ප්‍රදේශයේ ළමුන් අතර මෙන්ම දෙමව්පියන් අතරත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටිය කෙනෙක්. සර්ගෙන් ගණන් ඉගෙන ගත් බොහෝ උදවිය අද සමාජයේ පිළිගත හැකි තැන් වල වැඩ. සමහරුන් ගණිත ගුරුවරු. ඔහු දක්ශයි. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් මේ ලෝකයේ ගණිතය හැර මනුස්සයෙකුට වෙන ජීවිතයක් නොමැති බව කියලා සර් විටෙන් විට ඔළුවලට දාන විෂබීජය සෑහෙන දෙනෙකුගේ ඔලුවටම ගහලා තිබුණේ. ඒ නිසාම සමහරුන් නම් සෑහෙන ගණන් ගිහින් හිටියේ. 

එදා අපි එන වෙලාව වන විටත් ශාලාවෙන් තුනෙන් දෙකක්ම පිරිලා. මමත් ඉශානි, ඉශාරා, නෙලුම් සහ තව සඟයන් කීප දෙනෙකුත්‍‍‍‍... වැඩි හරියක් අපේම රෑහේ උන්. ඉතින් අපිට ඉතුරු වුනේ පිටුපස බංකු ටික. ශාලාවම පිරී ගියායින් පස්සේ පැය කාලකින් විතර සම්න්ත්‍රණය ආරම්භ වුණා. මුල කොටසේ සර් පරණ පාඩම් නැවත මතක් කරපු පැය දෙකට පස්සේ විනාඩි 10ක් විතර කෙටි විවේකයක්. දැන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන වෙලාව. ඒ අතරින් පතර මතුවුනු එක එක ප්‍රශ්න චිට්වල ලියලා සර්ට යවනවා හැම එක්කෙනාම වගේ. මේ චිට් යවන සම්ප්‍රදාය හුදෙක්ම ටියුශන් පංති වලින්ම පැවත එන එකක්. ගුරුවරයාගෙන්ම කෙලින්ම අසා දැනගන්න උවමනා ගැටලු කොළ කැබැල්ලක ලියලා ඉදිරි පෙලින් පෙලට මාරු කරලා යවලා ගුරුවරයා අතට දෙනවා. ඉන්පස්සේ මුලු පංතියටම ඇහෙන්න චිට් එක කියවන ගුරුවරයා පිළිතුරු ලබා දෙන්නේ අදාළ සිසුවාට පමණක් නොවෙයි මුලු පංතියටමයි. හුඟක් වෙලාවට ඒ යවන ගැටලුව තවත් ළමයෙකුගේ දෙන්නෙකුගේ ගැටලුවක් වෙන්නටත් පුළුවන්. ඉතින් ඒ වැඩේ වෙනදා විදිහටම එදා පංතියේත් සිද්ධ වුණා. ඇතැමුන් ගණිත ගැටලුම නොවන නානාප්‍රකාරයේ අමුතුම සිනහා උපදවන ගැටලුත් චිට් වල ලියා යැව්වා. හේරත් සර්රුත් ඒ වාගේ ඒවාට ප්‍රශ්න වලට නොදෙවෙනි උත්තර දුන්නා. 

අලුතින් ආ ළමයි කීප දෙනෙක් එක්ක කතා බහ කරන අතරතුරේදි ඔවුන් උසස් පෙළට හදාරන්න සිතාගෙන සිටින විෂයයන් ගැන විමසලා එතන කලා අංශයෙන් උසස් පෙළ කරන්නට සිතාගෙන ඉන්නවා කියපු කීප දෙනෙකුට සර් මොන මොනවදෝ කියනවා, පැහැදිලියටම නොවෙයි නමුත් තේරෙන තරමට ඇහුණා. එකත් එකටම කියන්නට ඇත්තේ 'කොමර්ස් කරන්න පුතේ? බැංකුවකට හරි යා ගන්න පුලුවන්' කියා වෙන්නම ඇති. මොකද එතනින් ඇවිත් වේදිකාවට ගොඩ වෙන ගමන් හේරත් සර්ගේ සුපුරුදු තැටිය කරකැවෙන්නට පටන් ගත්තා. උසස් පෙළට කලා විෂයයන් කරන්න ඉන්න ළමයි ගැන දුක් අඳෝනාවක් ඇහෙනවා ඉතින්. ඉතින් මම සර්ට අමතක නොවන චිට් එකක් යවන්නම්කෝ හිතුවා. 

"සර්, ආර්ට් කියන්නෙත් විෂයයක් නේද? ඇයි මේ තරම් ආර්ට් ගැන හෑල්ලුවෙන් කතා කරන්නේ? සර් කියන විදියට ආර්ට් කරලා ජොබ් නැත්නම් ආර්ට් උගන්වන ගුරුවරු කරන්නේ ජොබ් එකක් නෙවේද? එයාලා ඉන්නේ ඉහළම තැනක නෙවෙයිද? ආර්ට් ඉගෙන ගත්තත් රටේ ඉහළම තැනකට එන්න නම් බැරි කමක් නැහැ කියලයි මම නම් විශ්වාස කරන්නේ. මගේ නම් බලාපොරොත්තුව කලා විෂයයන් හදාරලා යන්න පුලුවන් ඉහළම තැනට යන්න... ඒ තමයි මේ රටේ ජනාධිපතිනිය වෙන්න. ඒ වෙලා මුලින්ම කරන්නේ මේ කලා විෂයය දහරාවේ වටිනාකම වැඩි කරන්න, සර් ලා වගේ ආර්ට් ගැන අඩූ තක්සේරුවෙන් හිතන කියන අය ගැන කටයුතු කරන්න වෙනමම ක්‍රියා පටිපාටියක් ගේන එකයි.. පස්සේ ඉතින් හාල්, පාන්, පරිප්පු වල මිල අඩූ කරන්න බැරියෑ... මේ රටේ වෙන්න ඕනා මූලිකම දේ ආර්ට් සබ්ජෙක්ට් ගැන හිතලා වැඩ කරලා ඒ විෂයයන්ට සාධාරණයක් කරන එක" 

ඒ චිට් එක කියවලා සර් කෙලින්ම බැලුවේ මා දිහායි; හැබැයි මූණේ නම් පුදුමයක් ඇඟවෙන පාටක්වත් තිබුණේ නැහැ, නිකන්ම නිකන් හිනාවක් විතරයි. සර් මගේ මූණ දිහා බලලා ඒ එක්කම මුලු පංතියෙන්ම අහනවා... 

 'ළමයි ඔයාලා කැමතිද මේ ජනාධිපතිනිය කවුද කියලා දැනගන්න' 

පංතියම මහා ඝෝෂාවක් එක්ක 'කවුද ඒ සර්?' 'ඔව් ඔව්' මෙහෙම ඒවා කියනවා ඇහුනා... 'දැන් ඉතින් උඹ බයිට් වෙන වෙලාවයි සූදානම් ද?' මගේ හිත කෑ ගැහැව්වා. මම මුලු වීරීයම දාලා හිතට ධෛර්‍ය ගත්තා ඉතින්.. මුලු පංතිය ඉස්සරහම නෝන්ඩි වෙන්න හිතාගෙන... 

එහෙම හිතාගන මමත් නිකන් ගාණක්වත් නැතිව හිටියා. හරියට මමත් ඒ චිට් එක ලිව්ව ජනාධිපතිනිය කවුද කියලා බලාගන්න ආසාවෙන් ඉන්නවා වගේ... ඒත් එක පාරටම හේරත් සර් මගේ ළඟ හිටගන්නකම් මම දන්නෙත් නෑ. 'හරි පුතෝ දැන් බයිට් වෙයන්' 


 සර් මගේ මූණ දිහා බලන් උන්නා... 

 'ළමයි මේ ඉන්නේ අපේ රටේ අනාගත ජනාධිපතිනිය,කෝ පොඩ්ඩක් නැගටින්නකෝ අනිත් අයටත් බලාගන්න...මේ ඉන්නේ ආර්ට් උණ තියෙන ළමයා....රටේ ජනාධිපති වෙන්න හීන බලන...ඔයාලත් ඔයාලගේ වටිනා ඡන්දය මෙයාට දෙන්න ඕනා තේරුණාද? අහ් දැන් ඔබතුමිය වාඩි වෙන්න එහෙනම්, මුලින්ම ඕ ලෙවල් ලියන්න... ඉන් පස්සේ ජනාධිපති වෙන්න බැරියෑ...' 

හේරත් සර් හිතපු තරම්ම නෝන්ඩී කළේ නැති වුණාත් මට නම් පොළොව පලාගෙන යන්න හිතුණා... ඒත් ඒක හරිම සම්ප්‍රදාය විරෝධි වැඩක් කියලා මට හිතුණා. චිට් පාස් කරන ළමයින්ව කවුරුවත් එහෙම පාවලා දෙන්නේ නෑ, ඒක සාම්ප්‍රදායට එරෙහිව යන වැඩක්... මට ඒ වෙලේ නම් සර් එක්ක ඒ හැටි අමනාපයක් ඇතිවුනේ නැතත් ඊළඟ විවේක වෙලාවෙදි කොල්ලෝ ටික පාස් කරපු හින්ට් වලට නම් ඇඟේ මාළු නැටුවා... කොහොම හරි ඉතින් 'රටේ අනාගත ජනාධිපතිනිය' කියන ලේබල් එක මට වැදෙන්න ගියේ පැය දෙකකටත් අඩු කාලයක්. එතනින් නතර වුනේ නෑ... ඔය සිදුවීම නගරයේ හැම පාසලක් අතරම වේගයෙන් පැතිරිලා ගියා, හැමෝගෙම 'රටේ අනාගත ජනාධිපතිනිය' මම වෙන්න ගත්තා... හැමෝම වගේ ඉඩ ලැබෙන හැම් මොහොතකම මාව බයිට් එකට ගන්න අමතක කළේ නෑ... කොහොමෙන් කොහොම හරි ගණන් පංතියේ අවසාන දවසත් ආවා... 

එදා පුංචි උත්සවයකුත් සංවිධානය කරලා තිබුණා... යාලුවන් ගේ පෙරැත්තය නිසාම මම එදා බොහොම අමාරුවෙන් පංතියට ගියා... හැමෝම 'ආයූබෝවන් මැඩම්...!' කියලා දකින දකින සැරේට ආචාර කරනවා... අර මැති ඇමති වරු ඔලුවටත් උඩීන් අත් උස්සලා හෙන ගැම්මෙන් ආචාර කරන්නේ අන්න ඒ වගේ... 'ඉවසන් පපුව ඉවසපන්..ඕවා ගණන් ගන්න එපා..' මම මටම එහෙම කියාගත්තා... 

එදා ගණන් පංතියේ අවසාන දවසේ තෑගි බෙදා දීමේ උත්සවයකුත් සංවිධානය කරලා තියෙන වග අපි දැනන් උන්නෙම නෑ... සර් ගේ ස්කෝලේ බැච් එකේ යාලුවෙක් වෙන දැනට රංගන වේදිකාවේ ප්‍රබල චරිතයක් එදා උත්සවයට ආවමයි අපි ඒ ගැන දැනගත්තේ... ඉතින් එදා පංතියේ අවසාන දවසේ එක එක විදියේ තෑගි බෙදලා දුන්නා... සමහරුන්ට වැඩිම ලකුණූ වලට, සමහරුන්ට දිනපතා පැමිණීමට ඔය වෙගේ දේවල් වලට තෑගි බෙදලා දුන්නා. මම දැනන් හිටියා මට ඕවායෙන් එක තෑග්ගක්වත් ලැබෙන්නේ නෑ කියලා ඒත් එක පාරටම මහා අමුතු තෑග්ගක් දෙන්න එනවුන්ස් කලේ හේරත් සර්මයි.... 

 'මම මෙච්චර කාලයකට දැක්ක හොඳම පෞරුෂයක් තියන, මගේ මෙතෙක් පංති වල හිටි කාටවත් තිබුණේ නැති ලොකූම හීනයක් තියෙන, මාවත් පරද්දගෙන ඉස්සරහට යන්න හිතාගෙන ඉන්න, ටිකක් විතර පණ්ඩිත කෙල්ලෙක් මේ පංතියෙන් මට මුණ ගැහුණා... මම දන්නවා මේ ළමයි කවුරුත් කවදා හරි හොඳ තැනකට එන විත්තිය... ඒත් මේ හීන මේ තරම් බලගතු වෙයි කියලා මන් කවදාවත් නම් හිතුවේ නෑ... ඉතින් මේ තෑග්ග මම එයාට දෙන එක එයාගේ හීන පාට කරගන්න හොඳ අත්වැලක් වෙයි කියලා මම විශ්වාස කරනවා....' 

හේරත් සර් එහෙම කියලා එක පාරටම මං දිහා බැලුවා... මාව නිකම් සීතල වෙලා ගියා... එදා චිට් එක ලියලා මාට්ටූ වුණ දවස හොඳයි කියලා හිතුණා... සර් මගේ නම කතා කළා... එකින් එක කඩ කඩ වැදුනු අත්පුඩී වැස්සක් වගේ වහින්න ගත්තා... වැඩිපුරම හිටියෙත් ඉතින් අපේ ස්කෝලේ අය නිසා මට කොහොමත් එහෙම අත්පුඩි වදින එක පුදුමයක්ම නම් නෙවෙයි... මම එතනට ගියා නෙවෙයි මාව එතනට යැවුනා කිව්වොත් හරි. අත්පොළසන් වරුසාව මැද්දෙන් මම හේරත් සර්ටත් අර වේදිකා නාට්‍ය නලුවටත් වැඳලා තෑග්ග අතට ගන්නවත් එක්කම, හේරත් සර් අර මනුස්සයට කියනවා... 

 'මේ ඉන්නේ රටේ අනාගත ජනාධිපති.' 

මගේ මූණ රතු වුණ හැටි ඒ වෙලේ කාටවත්ම පෙනුනේ නැත්තේ මගේ මූණ කලු නිසා වෙන්න ඇති. ලැජ්ජාව කියන එක නම් කවදාවත් නොදැනුන විදිහට එදා නම් හොඳටම දැනුනා... එදා ඒ තෑග්ගේ ඔතලා තිබ්බේ දයාරෝහණ අතුකෝරාළ ගේ 'YES I CAN' කියන පොත... මං හිතන්නේ සර්ට ඇත්තටම හිතුණ ද දන්නේ නෑ, මම කවදා හරි ජනාධිපතිනියක් වෙයිමත් ද කියලා... කොහොම හරි ඒ සිද්ධියෙන් පස්සේ හුඟාක් අයට මාව අදටත් හොඳට මතකයි. විශේෂයෙන් හේරත් සර්ට... 

එදා එහෙම ජනාධිපති වෙන්න හීනයක් නම් ඇත්තටම හිතේ තිබුණේ නෑ. ඒත් ඒ වගේ හීනයක් ගැන විහිලුවට හරි හිතපු එකේ සංසාරගත කළකිරීමක් නම් දැන් එමට දැනෙනවා මේ වත්මන් දේශපාලුවන් ගේ හැසිරීම් රටා දැක්කම. අඩූම ගණනේ පාර්ලිමේන්තුව ළඟින්වත් යන්න හිතෙන්නේ නැති තරම්... 

 ඔන්න ඔහොමයි මම රටේ අනාගත ජනාධිපති වෙන්න හින මැව්වේ.......!

19 comments:

  1. එක අරමුණක් නැතුව වැඩ කරන එකත් මරු,

    ReplyDelete
  2. නෑ ළමය! සර් පොත් දෙකක් ගෙනාව. එකක් මට මතක නෑ. අනිත් එක - ප්‍රභාකරන්- දුරවබෝධ මනසක අැතුලාන්තය :) එදා ඔයා හිටියෙ නෑ :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒ මතක නැති පොත තමයි මට ලැබුණේ.... :)

      Delete
  3. මම උසස්පෙළට විද්‍යා විශයන් තෝරා නොගත්තු නිසා මගේ සාමාන්‍යපෙල ගුරුවරිය උසස්පෙල අවුරුදු දෙක පුරාවටම මාත් එක්ක කතාකලේ නෑ.එකම සහනයවුනේ ගෙදරින් කිසිම බලපෑමක් ආපු නැති එක විතරයි.ඕවා මිනිස්සුන්ගේ මෝඩ මත. ඒ මත නිසා අද අපේ අක්කගේ පොඩි එකත් දෙලොවක් අතර.ඒකිට ඕනේ පුරාවිද්‍යාව කරන්න.ඒත් එයාගේ තාත්තගේ පැත්තෙන් ඒකට තියෙන්නේ විරෝධයක්.ඒ නිසා ඒකා වැනි වැනි ඉන්නවා.

    ආරාදේ හැබැයි ඡන්දේ නොයිල්ලපු එක....ඉල්ළුවනම් අර වික්‍රමභාහුට වඩා ඡන්ද ගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. මහ එකාගේ හොම්බට දෙකක් ඇනලා කෙල්ලට පුරාවිද්‍යාව කරන්ඩ පාර හදලා දියං

      Delete
    2. මහ එකාගේ හොම්බට දෙකක් ඇනලා කෙල්ලට පුරාවිද්‍යාව කරන්ඩ පාර හදලා දියං

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඡ්න්දේ නොඉල්ලුවට මනාප නම් සෑහෙන තිබුණා කටුසු....... :)

      මම නම් කියන්නේ ඉගෙන ගන්න දේවල් වලදි තමන් ගේ කැමත්තට ඉඩ දෙන එක තමයි හොඳම දේ...මොක්ද ළමයා තමා දන්නේ තමන් දක්ශ මොනවටද අදක්‍ශ මොනවටද කියලා....අර කිව්වත් වගේ පුරා විද්‍යාව ඉගෙන ගන්න ඕන ළමයට ඒ ගැන ආසාව කුතුහලය තියෙන නිසාම ඒකට ඉඩ දෙන එක වටිනවා...

      Delete
  4. මුලු කතාව ම කියෙව්වේ එක හුස්මට........ මොකද ඒ කතාව ඇතුලේ මම මාවම දැක්කා.... ගොඩක් තැන්වල මං හිටියා..... ඕලෙවල්කාලේ මතක් වුණා....

    මටත් තිබුනේ ඔය රැල්ලට යෑමට විරුද්ධ වීමේ අවශ්‍යතාවයක්. අනික මහන්තත්තකම් පෙන්නන්න බැහැ. මට එක විෂයකට හෝඩියේ දෙවැනි අකුර ඇරෙන්න අනික් සේරම විෂයන්ට තිබුණේ හෝඩියේ පළවෙනි අකුර. එහෙම වුණ ගමන් ම හැමෝ ම දොස්තරලා ඉංජිනේරුවෝ වුණා. මට ඒක වෙනස් කරන්න ඕනේ වුණ නිසා මං වෙන පැත්තකට ගියා. ඒත් ඒ ලෙවල් ඉවර වෙද්දි මට ඒකත් එපා වුණා. කැම්පස් ගිහින් කරේ වෙනම විෂයක්...... රස්සාව මං හරි ආස එකක් හොයා ගත්තා.

    දැන් මට පාරේ යද්දි අර වෙන්ඩ දොස්තරලා වෙන්ඩ ඉංජිනේරුවෝ එහෙම හම්බෙනවා.... උන් කොහේ හිටියත් මං උන්ට වඩා සතුටෙන් ඉන්නවා කියලා මං දන්නවා.... ජීවිතේ කියන්නේ මේකයි. අපි අපිට ඕනේ විදිහට ජීවත් වුණොත් මැරිලා යන වෙලාවේ හරි සතුටක් දැනේවි......

    හැබැයි ඔබ ඡන්දය ඉල්ලුවොත් මං අනිවා ඡන්දෙ දෙනවා...... ඒ වෙන මොකටවත් නෙමෙයි අර යවපු චිට් එකටයි.. ඊට පස්සේ ඒක අල්ලං හිටියාටයි....

    බ්ලොගය සුපිරියි....... දිගට ම ලියමු...... නෙලුම්යායෙන් තමා පාර අහගත්තේ.... අපේ සින්ඩියටත් දා ගත්තා... අනික් සින්ඩිවලටත් යන්න......

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මනාපයට සතුටූයි හොඳේ... :)
      ඔයා මේ ලියලා තියෙන ටිකට මම සම්පූර්ණයෙන් එකඟයි....අපේ නම් සයන්ස් මැත්ස් කරපු බොහෝ උදවිය අද ලස්සන පවුල් ජිවිත ගත කරනවා..මමත් හැමෝම අ යන්න කියද්දි හැමතිස්සෙම ආ යන්න කියන්න පුරුදු වෙලා උන්නා..ඒකනේ පොල් ගෙඩිය මට පොල් පාට වුණේ :) හේරත් සර් කිව්වා වගේ කට්ට කාගෙන මමත් කොමර්ස් හරි සයන්ස් හරි කළා නම් අපි අපේ ජිවිත අැතුළේම හ්‍ර වෙන්න තිබුණා....රැල්ලට දුවන්නේ නැතිව ඉන් ඔබ්බට දුවපු එක තමයි අපිට මෙහෙම හිතන්න හරි පුලුවන් වුණේ...
      බොහොම ස්තුතියි බ්ලොග් එකට ගොඩ වුණ ඒකට :)

      Delete
  5. කලබල වෙලා ජනාධිපති හීනේ විනාෂ කරගන්න එපා. තව අව්රුදු පහකින් ට්‍රයි කරමු. අපි අනිවා ඡන්දෙ දෙන්නම්.

    ReplyDelete
  6. හීන තමයි ජීවිතේට පාර කියන්නෙ. ඒ කාලෙ මට ඕනෙ වුණෙ මානසික වෛද්‍යවරියක් වෙන්න. කොන්දොස්තර වෙලා නැවතුණු එක වෙනම කතාවක්. (සබාවේ සිනා) .පුංචි කාලෙ තිබුණු හීන මතක් වෙද්දි සමහර වෙලාවට හිනත් යනව. ඒ කාලෙ මට කොහොමහරි භූමිතෙල් බොන්න ඕනෙ කියල හීනෙකුත් තිබ්බ. හිකිස්....දැන් වගේ නෙමෙයිනෙ, එතකොට භූමිතෙල් ලස්සන ලා නිල් පාටයි.
    අදයි මේ පැත්තට ආවෙ කලු මොණරි. හිතට වදින බ්ලොග් එකක්.
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු මේ පැත්තට ආවට.
      භූමිතෙල් බොන්න දැන් නම් හීන මවන්න එපා
      මොකද දැන් භූමිතෙල් සෑහෙන ගණන් :D

      Delete
  7. කතාව නොම්බර එකයි.ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
  8. බොහොම ස්තුතියි :D

    ReplyDelete

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...