Friday, 22 April 2016

අාදරණීය මුසන්ඩාස්...


අද ලෝක මිහිතල දිනයයි...

එහෙම කිව්ව ගමන්ම මට අපේ සීයව මතක් වුණා....

අපි එයාට ආදරේට කිව්වේ 'චුච්චු' කියලා. නැත්නම් චුච්චු තාත්තා කියලා. ඒ නමින් සීයට කතා කරන්න ගත්තේ එයාගෙ වැඩිමල්ම මිනිබිරී, මමයි. ඒත් මගෙන් පස්සේ ඉපදුණ ඔක්කොම පොඩි උන් ටිකත් සීයට කතා කළේ චුච්චු තාත්තා කියලා... මේ ලෝක මිහිතල දිනයට අදාළ කතාවක් නෙවෙයි මම කියන්න යන්නේ කියලා සමහරු හිතන්න පුලුවන්... ඒත් ලෝක මිහිතල දිනය කියද්දි ගස් කොළන් සතා සිව්පාවා මේ වගේ දේවල් එක්කම මට මතක් වුණේ චුච්චු තාත්තව.

ජිවිතේ මතකයන් කියන දේ අපිට ආයේ ආයෙමත් අලුත් කරලා දෙන සිද්ධින් නැතුවම නෙවෙයි. සමහරුන් අද අපි අතර නැති වුණත් මේ මතකයන් සඳහටම අපේ හිත් අරක්ගෙන ඉන්නවා. අපේ චුච්චු තාත්තා විතරක් නෙවෙයි, අපේ තාත්තා පවා ගස් කොළන් වලට අසීමීතව ආදරෙයි... විශේෂයෙන් චුච්චු තාත්තා...

මම සීයට චුච්චු කියන්න පටන් අරන් තියෙන්නේ මම පොඩි කාලේ. අම්මා රට ඉන්නකොට මාව බලාගත්තේ සුදු අම්මයි සීයයි. ඉතින් මම අඬනකොට සුදු අම්මා මාව නළවලා තියෙන්නේ, 'ඉන්න පුතේ සීයා චුච්චු අරන් දැන් එයි' කියලලු... මම බහ තෝරන කාලේ නේ ඉතින්... ඉතින් මම ඒ කාලේ චුච්චු කියලා තියෙන්නේ කිරි වලට. ඒක නිසා සීයා කිරි අරන් එන නිසා මම එයාට චුච්චු තාත්තා කියන්න පුරුදු වුණා.

'බිමට කෑම දාන්න එපා 
අර පිඟාන තියෙන්නේ ඒකට දාන්න..'
'ඉතින් මේ සිමෙන්තියනේ?'
'එහෙනම් උඹත් සිමෙන්තියෙම කෑම දාන් කාහන්'

ඉස්සර කෑම කා ඉතුරු බිතුරු ටික අනා ගෙදර බල්ලට අඬගසා කුස්සිය පිටිපස්සේ සිමෙන්තියට දාන දවසක මට මතකයි චුච්චු එහෙම කිව්වා... වැඩි කතා බහක් නැති වුණත් එයා හරිම ආදරණීය කෙනෙක්... ඒත් ඒක අපිට ඒ හැටි පෙන්නුවේ නෑ...

අම්මලගේ මහගෙවල් තිබුණේ උස්වැටකෙයියාවේ, තවමත් එහේ තමයි, උස්වැටකෙයියාවේ, මුහුද අයිනෙමයි ගෙවල් තිබ්බේ. චුච්චු තාත්තා රස්සාවක් කියලා එක දෙයක් කළේ නෑ. එයා මුහුදු රස්සාවත් කළා, වඩු වැඩත් කළා, තව පෙදරේරු වැඩේත් කළා. ප්‍රධාන වශයෙන්ම කළේ වඩු වැඩ. මට මතකයි ලී වලට ලස්සනට කැටයම් දාන හැටි. ඒ අතින් එයාට පුදුම හැකියාවන් තිබුණා. 

අම්මලගේ මහගෙවල් ඉස්සරහා මිදුලේ මට මතක අැති කාලෙක ඉඳලම මුසන්ඩාස් ගහක් වවලා තිබ්බා... මුසන්ඩාස් කියන්නේ එහෙමත්ම සුවඳවත් පෙනුමවත් තියෙන මල් ජාතියක් නෙවෙයි, ඒත් ඒ ලොකුවට පිපෙන මල් අැතුළෙන් කහ පාටට පොඩි මලක් පිපෙනවා අන්න ඒ මලට නම් මම හුඟාක් ආස කළා. ඉස්සර අපි ඔය මල් කඩලා අර කහ පාට මල් එකතු කරලා මල් මාල හඳලා කරට දාගෙන සෙල්ලම් කරනවා... චුච්චු කැමති නෑ අපි ඔය ගහේ මල් කඩනවට, එයා හරිම ආසාවෙන් ආදරෙන් ඒ ගහ හැදුවේ, රෝස පාට ලොකු මල් පෙති අස්සේ කහ පාට මල් පිපෙන ඔය මුසන්ඩාස්  ගහ හිටවලා තියෙන්නෙත් එයාමයි.

'කවදා හරි ඔය ගහ කපපු දවසට පහුවෙනිදට මාවත් මැරිලා තියෙයි,'

ඕක විහිලුවට වගේ හැමතිස්සෙම සුදු අම්මා එක්කලා, අපේ අම්මලා එක්කලා එහෙම කියනවා මට අැහිලා තියෙනවා මතකයි. ඔය ගහේ මල් කොළ පිරිලා අතු බිමට බරවෙලා තියෙන දවසක එතනින් යන්න එන්න අමාරුයි කියලා මාමා ඔය ගහේ අතු ටිකක් කැපුවා කියලා චුච්චු තාත්තා සෑහෙන හිතේ අමාරුවෙන් හිටියේ. මට මතකයි මාමාට දවසක් ඕකට හොඳටම බැන්නා. හැබැයි ඒ අතු කපපු එකෙන් වත්ත එළිය වුණාට නොසෑහෙන්න අව්ව එන්න ගත්තා ගෙදරට... ඒ වගේම රස්නෙත්. මුහුදු අයිනේ තියෙන ගෙවල් නිසා දවල් කාලෙට ඒ පැත්ත ටිකක් රස්නෙයි, අර ගහ නිසා ගේ ඉස්සරහට මුලු වත්තටම ලොකු හෙවනක් තිබුණා.
ඔය වගේ අවුරුදු දහයක් විතර ඔය ගහ ගෙදරම දරුවෙක් වගේ හැදුණා. මාමාගේ කල වයසත් හරි ගිහින් එයා බඳින දවසත් ආවා. මහ ගෙදර ස්තෝප්පුවක් තිබ්බේ නෑ. ඉතින් මඟුල් ගෙවල් ළං වෙනකොට ගෙවල් අලුත් කරන එක සාමාන්‍ය දෙයක් නේ. මහගෙදර ස්තෝප්පුවක් තිබ්බේ නැති නිසා ඒකේ උවමනාවක් මාමටයි සුදු අම්මටයි තදින්ම තිබුණා. ඒත් එහෙම හදන්න නම් අර මුසන්ඩාස් ගහ කපන්න වෙනවා... චුච්චු තාත්තාට ඒක වටිනවා වුණාට අනිත් අය නම් ඒ ගැන ලොකුවට සැළකුවේ නෑ. ඉතින් කොහොම හරි ඒ මුසන්ඩාස් ගහ කැපුවා.. කපලා  ස්තෝප්පුවත් හැදුවා. එදා රෑ චුච්චු තාත්තා කෙලින් ඉන්නවත් බැරි තරමට බීලා අැවිත් නිදාගන්නවා මට මතකයි. පහුවෙනිදා ඉඳලා එයා සාමාන්‍ය විදියට වැඩ කළත් ඒ ගැන හිතේ අමාරුවන් ඉන්න අැති කියලා මට දැන් නම් හිතෙනවා.මාමගේ මඟුල් ගේ කටයුතුත් ලස්සන්ට කෙරුණා. එයා ඒ ගැනත් අලුත ගෙනා මනමාලි ගැනත් හරි සතුටින් හිටියා. මන් හිතන්නේ නැන්දම්මට වඩා මාමණ්ඩි තමයි අළුත් නැන්දට ආදරෙන් සැළකුවේ, හැබැයි එයා මුලු පවුලෙන් වැඩියෙන්ම ආදරේ කළේ ලොකු මල්ලිටයි කියලා නම් හැමෝම දන්නවා.. මාමාගේ කසාදේ සිද්ධ වෙලා මාසයක් විතර යනකොට අර මුසන්ඩාස් ගහේ මතකයත් අපේ මතකෙන් අෑත් වෙලා තිබ්බේ. 

මම පොඩි කාලේ ඉඳලම මිනිස්සුන්ව හිස්සවන්න උපන් හපනෙක්, කාව හරි කොපි කරලා එයා අැවිදන විදිය, කතා කරන විදිය, හැසිරෙන විදිය, ඕවා එහෙම කරලා පෙන්වනවා. එදා රෑත් අපි අම්මගේ අක්කගේ බාගෙට හදපු ගේ ඉස්සරහා අත්තිවාරම උඩ වාඩි වෙලා මුහුදු හුළං වැදි වැදි හිනා වෙවි හිටියේ... අපි හැමෝම එතන හිටියා. මුලු පවුල් තුනම එකතු වෙලා, එක එක කතා කිය කිය, හිනා වුණා. වැඩිපුරම මගේ කෝළම් වලට තමයි ඉතින්... කවුද බෝයි වගේ රඟපාන එකටයි ඒ සිංදුව කියපු හැටියටයි චුච්චු තාත්තා බඩ අල්ලන් හිනා වුණා.

'අනේ තව එක පාරක් කරන්න....,  තව එක පාරක්'

පොඩි  එකෙක් වගේ මගෙන් ඉල්ලපු හැටි මට හොඳට මතකයි. එදා තමයි අපි අන්තිමට චුච්චු එක්ක හිනා  වුණ දවස. ඊට සතියකට පස්සේ ලොකු ඔලුව කැක්කුමක් අැවිත් චුච්චු තාත්තා ඉස්පිරිතාලේ අරගෙන ගියා කියලා එහා ගෙදරට කෝල් කරලා මහප්පා කියලා තිබ්බා. ඉස්සර අපිට ෆෝන් තිබ්බේ නැහැ. ඉතින් මමයි අම්මයි මල්ලියි තාත්තයි කට්ටියම එදාම රෑ අම්මලගෙ මහ ගෙදර උස්වැටකෙයියාවේ ගියා. ඉතින් අපි හරියට දන්නෙත් නෑ චුච්චු තාත්තට මොකද වෙලා තියෙන්නේ කියලා,

'එක පාරටම වමනේ දාන්න ගත්තා පස්සේ ඔලුව බදාගෙන බිම වැටුනා'

නැන්දා එ හෙම කියනවා මට අැහුණා. කොහොම හරි දවස් 4ක් චුච්චු කොළඹ මහා ඉස්පිරිතාලේ නවත්තලා හිටියා. ඒත් දැඩි සත්කාර ඒකකයේ හිටපු නිසා එයාට කා එක්කවත් කතා කරන්න ලැබිලා නෑ. හැමෝම මාරුවෙන් මාරුවට ඉස්පිරිතාලේ ගියත් මාව කවුරුවත් එක්ක ගියේ නෑ. ඒත් මම හිතුවේ එයාට ඉක්මනින් සනීප වෙලා  අද හෙටම එයි කියලා.

එදා ඉරිදා දවසක් අපේ අම්මයි සුදු අම්මයි එදා උදෙන්ම ගියා මහප්පා එක්ක චුච්චු තාත්තා බලන්න. මමයි ලොකු මල්ලියි ඉස්සරහට වෙලා සෙල්ලම් කර කර හිටියේ... උදේ 7ට විතර අැති වෙලාව. එක පාරටම  කවුදෝ බයික් එකකින් අැවිත් අපිට අත වැනුවා... මමත් ලොකු මල්ලිත් දුවගෙන ගියා, එතකොටම ඒ මනුස්සයා අැහැව්වා 

' මේ ජෝසප් අයියලගේ ගෙදරද?

ජෝසප් කියන්නේ චුච්චු තාත්තගේ නම. මම 'ඔව්'  කියලා ඔලුව වැනුවා, ඒත් එක්කම ඒ අංකල් කිවා 

'පුතා අම්මට කියන්න එයා දැන් ටිකකට කලින් නැති වුණා කියලා'

දුකට එතන බිම පෙරළීලා අඬනවා වෙනුවට ලොකු මල්ලි එක්ක එක පිම්මේ දුවගෙ ගියේ මාමගේ කමරේට, ඒත් දොරකඩ එක පාරටම මාව හිට්ටවුනා, ඒ චුච්චු කියපු දෙයක් මතක් වෙලා, ඒ දවසක් මම මාමගේ කාමරේට කඩාගෙන බිඳගෙන කතා නොකර ගිය දවසක චුච්චු තාත්තා මට ඒක දැකලා කතා කරලා බැන්නා.

'අනිත් දවසේ කාමරේට යන්න කලින් කතා කරලා යන්න ඕනා '

මම එතනම හිට ගෙන මාමට කතා කළා. මාමා නිදි මරගාතේ එළියටා ආවා...

'ඇයි?'
'කවුද අංකල් කෙනෙක් ආවා එයා කිව්වා ටිකකට කලින් චුච්චු නැති වුණා කියලා'

මම ඒ අංකල් කියපු විදියටම කිව්වම එයා අඬාගෙන මහප්පලා ගෙදරට දිව්වා. නැන්දට කියන්න, ටිකකින් මර ළතෝනි දීලා එයත් අඬන්න ගත්තා, එතකොටයි මට තේරුණේ චුච්චු නැති වුණා කියන්නේ 'මැරිලා' කියන එක බව. ටික වෙලාවකින් අම්මා සුදු අම්මවත් ඇඟට හෙත්තු කරගෙන ගෙවල් පැත්තට එනවා දැක්කා... තවම මගේ අැස් වල කඳුලු  නෑ. ඒත් දුකකට වඩා මොකද වෙන්නේ හිතාගන්න බැරිව මම ගල් වෙලා හිටියා. සුදු අම්මා ආව ගමන් ස්තෝප්පුවේ බිම වාඩි වෙලා මහා හයියෙන් අැඬූවේ අර මුසන්ඩාස් ගහ ගැන කිය කිය.

ඒක කපපු දවසට එයත් මැරිලා ඉඳියි කියන එක ගැන කිය කිය පෙරලි පෙරලි ඇඬුවා .ඒක ඇත්ත නේන්නම් කියලා මටත් ඒ වෙලේ හිතුනා... මම හිතුවෙම චුච්චු අපිව දාලා යන්න ගියේ ඒ ගහ කපපු නිසයි කියලා. චුච්චු නැති වෙනකොට එයාට වයස 52 යි, මම මෑතක් වෙනතුරුත් අර කපපු මුසන්ඩාස් ගහයි චුච්චුගේ මරණයයි අතර ලොකු සම්බන්ධයක් ඇති කියලා හිතුවා. චුච්චු නැති වුණේ ඔලුවේ නහරයක් පුපුරලා ගිහින්.

'මේ ගහ කපපු දවසට මමත් මැරිලා ඉඳියි' 

එ් කතාව මගේ ඔලුවේ සෑහෙන කාලයක් හොල්මන් කළා වගේම, කවුරු හරි අතින් හිටවන ගහක් කැපුවොත් ඒ කෙනා මැරෙයි කියන එක මගේ හිතට තදින්ම කා වැදිලයි තිබුණේ. අැත්තටම ගස් කියන්නේ මොන තරම් සම්පතක් ද කියලා  මට නම් දැනෙන්නේ අර ගින්දර අව්වේ ගහක් යටකට ගියාමයි, සෙවන වගේම සිහිල.

චුච්චු තාත්තා කියන්නෙත් මගේ ජිවිතේ හිටිය ඒ වගේ මහා රූස්ස ගහක් අදටත් මතක හිටින.

Sunday, 17 April 2016

ඕ ලෙවල් කෙල්ලගේ ජනාධිපති හීනය...!



පොඩි කාලේ මොන්ටිසෝරියේ අපිට උගන්වපු ටීචර් හරියට නිකන් ඉන්ද්‍රානි පෙරේරා වගේමයි. ඉතින්... මම ඉස්සර ටීචර් ගේ මූණටම ඕක බැරි බැරි ගාතේ කියනවා කියලා ටීචර් දැනටත් පාරේ දි මුණ ගැහුණමත් මට කියනවා. පොඩි කාලේ මේ ටීචර් පාට ගැන පාඩම උගන්වනකොට තැඹිලි ගෙඩිය තැඹිලි පාටෙන් පාට කරලා කිව්වා, 

'පුතේ මේ තියෙන්නේ තැඹිලි ගෙඩියක්. එතකොට මේක පාට කරලා තියෙන්නේ තැඹිලි පාටෙන්..'

ඊළඟට පොල් ගෙඩියෙ රූපෙ පෙන්නලා පාට කියන්න කිව්වාම මම පැනපු ගමන් කියපි; 

 'මේ තියෙන්නේ පොල් ගෙඩියක්. මේ පාට තමයි පොල් පාට' 

 මට ඔය සිද්ධි බොඳ වෙච්ච හීන වගේ තාමත් මතකයි ඉතින්. සමහරුන්ට නම් පොඩි කාලේ හුඟාක් සිද්ධි මතක් කරලා දෙන්නේ අම්මා හරි තාත්තා හරි නේ... ඒත් සමහර සිද්ධි මට හොඳට මතකයි. පස්සේ කාලෙක ස්කෝලේ ටීචර් කෙනෙක් අපෙන් ඇහැව්වම ළමයි ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා... මම කිව්වේ; 'අම්මා කෙනෙක් වෙන්න' කියලා. මට මතකයි ටීචර් හිනා වෙලා මගේ ඔලුවත් අත ගානවා.... හැබැයි ඊට පස්සේ ටීචර් කිව්වා; 

 'නෑ දුව මම ඇහැව්වේ ඩොක්ටර් කෙනෙක් වෙන්න ද එහෙමත් නැත්නම් ලෝයර් කෙනෙක් වෙන්න ද කියලා...' 

 මම එතකොට නම් කිව්වේ ටීචර් කෙනෙක් වෙන්නයි කියලා. අවුරුද්දෙන් අවුරුද්ද අපේ අරමුණු වෙනස් වෙන්න ගත්තා... ඒවා අපේ හැකියාවල් ආසාවල් එක්කම වෙනස් වෙන්න ගත්තා... ස්කෝලේ නවය වසරට වගේ එනකොට මම හිතාගත්තා මම උසස් පෙළට හදාරන්නේ කලා විෂයයන්මයි කියලා... 

'මම නම් ආර්ට් කරන්නේ සර්..' 

 මම ගණන් උගන්වන හේරත් සර්ට හවස උපකාරක පන්තියෙදි කිව්වා. සර් ඒක අහගන ඉඳලා බෝඩ් එකේ ගාණක් හදන ගමන් එදා හවස කියනවා... 

'ආර්ට් කරලා රස්සා හොයාගන්න බෑ දරුවෝ... කොමර්ස් වත් කලා නම් බැංකුවකට හරි යා ගන්න පුලුවන්. ආර්ට් කරලා මොන ඉටි ගෙඩියක් කරන්නද?' 

මේ මිනිහට පිස්සු... ආර්ට් කරලා ජොබ් නැත්නම් මොන කෙහෙල්මලකටද එහෙම විෂයයන් ඉස්කෝලේ සිලබස් වලට ඇතුළත් කරන්නේ? මම තනිවම හිත ඇතුලෙ කියනවා. 

'අනික කවුද ආර්ට් කරන ළමයින්ව ගණන් ගන්නේ අහ්...' 

හේරත් සර් උපැස් යුවළ නළලට උස්සලා මං දිහා බලලා කියනවා... තරහ නොගිහින් තියේ ද කාට වුනත්... 

'කමක් නෑ සර් ආර්ට් කරලා මටත් යන්න පුලුවන් තැනක් කොහේ හරි තියෙයි නේ..' 

මම ටිකක් සද්දෙට කියලා ගණන් හදන්න පටන් ගත්තා. ඇත්තටම ඔය සර්ට තරහ තිබ්බේ ආර්ට් විෂයයන් එක්ක නෙවෙයි... මා එක්කයි. ඒක තරහක්ම කියන්නත් බෑ. පොඩි කැපිල්ලක් වගේ එකක්. මොකද සතියට දවස් දෙකක් තියන ගණන් පංතියට මම ආවේ එක දවසක් විතරයි. අනික් දවසේ මම සිංහල පංතියට ගියා. ඒ සමන් සර් ගේ පංතිය. ඒ හේතුව හින්දා හේරත් සර් ඉඩ ලැබෙන හැම වෙලාවෙම මම ආර්ට් කරන එක ගැන ඇනුම් පද කියන්නට පුරුදු වී හිටියා. 'ආර්ට් කිරිල්ලෙන් පලක් නැති බව' හේරත් සර් පංතියේ හැම ළමයෙකුගේම මනසට ඉඩ ලැබෙන ලැබෙන විදියට එන්නත් කළා. ඒක මහා සාපරාධි ක්‍රියාවක් හැටියටයි මට හිතුණේ. වෙන උපකාරක පංතියක් සොයාගන්නට අනන්ත හිතුණා. ඒත් විභාගය අත ළඟ... යාළුවන් අතැරලා යන්නත් සිත් දුන්නේ නෑ.... ඉතින් මම අකමැත්ත යට කරගෙන ඉවසලා හිටියා. හේරත් සර් විතරක් නොවෙයි සමාජයේ බොහෝ දෙනෙක්, පාසල් වයසේ ළමුන් සහ දෙම්ව්පියන් පවා කලා විෂයයන් ගැන කතා කළේ ඉතාමත් අඩු තක්සේරුවෙන්. සමහර පාසල් වල උසස් පෙළ කලා විෂයයන් තිබුණේම නෑ. පෙළක් ඉහළ පාසල් වල ළමයින් උසස් පෙළ කලා විෂයයන් සඳහා අපේ පාසලට පැමිණි අවස්ථාත් තිබුණා. මේ ගැන මගේ හිතේ තිබුණේ සියුම් වේදනාවක්. උසස් පෙළ කරන වැඩිමල් අක්කලා අයියාලගෙන් නිතරම සැහැල්ලුවෙන් සිටියේ නම් කලා හදාරපු පිරිස විතරයි. 

මේ කාලේ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීමට කලින් පැවැත්වෙන අවසාන සම්න්ත්‍රණ වකවානුව. ඉතින් සුපුරුදු මුහුණු වගේම නුපුරුදු මුහුණුත් පංතිවල පිරිලා. එදා අඟහරුවාදා දවසක්; හේරත් සර්ගේ ගණිත සම්න්ත්‍රණය එදා දවස පුරාම. පහුගිය ප්‍රශ්න පත්‍ර නැවත සාකච්ඡා කිරීම සහ පාඩම් නැවත මතක් කරගැනීම. එදා ශාලාව පිරෙන්න සෙනඟ. විවිධ පළාත් වලින් ළමුන් පැමිණි සිටියා. හේරත් සර් ගණිතය ගැන ප්‍රදේශයේ ළමුන් අතර මෙන්ම දෙමව්පියන් අතරත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටිය කෙනෙක්. සර්ගෙන් ගණන් ඉගෙන ගත් බොහෝ උදවිය අද සමාජයේ පිළිගත හැකි තැන් වල වැඩ. සමහරුන් ගණිත ගුරුවරු. ඔහු දක්ශයි. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් මේ ලෝකයේ ගණිතය හැර මනුස්සයෙකුට වෙන ජීවිතයක් නොමැති බව කියලා සර් විටෙන් විට ඔළුවලට දාන විෂබීජය සෑහෙන දෙනෙකුගේ ඔලුවටම ගහලා තිබුණේ. ඒ නිසාම සමහරුන් නම් සෑහෙන ගණන් ගිහින් හිටියේ. 

එදා අපි එන වෙලාව වන විටත් ශාලාවෙන් තුනෙන් දෙකක්ම පිරිලා. මමත් ඉශානි, ඉශාරා, නෙලුම් සහ තව සඟයන් කීප දෙනෙකුත්‍‍‍‍... වැඩි හරියක් අපේම රෑහේ උන්. ඉතින් අපිට ඉතුරු වුනේ පිටුපස බංකු ටික. ශාලාවම පිරී ගියායින් පස්සේ පැය කාලකින් විතර සම්න්ත්‍රණය ආරම්භ වුණා. මුල කොටසේ සර් පරණ පාඩම් නැවත මතක් කරපු පැය දෙකට පස්සේ විනාඩි 10ක් විතර කෙටි විවේකයක්. දැන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන වෙලාව. ඒ අතරින් පතර මතුවුනු එක එක ප්‍රශ්න චිට්වල ලියලා සර්ට යවනවා හැම එක්කෙනාම වගේ. මේ චිට් යවන සම්ප්‍රදාය හුදෙක්ම ටියුශන් පංති වලින්ම පැවත එන එකක්. ගුරුවරයාගෙන්ම කෙලින්ම අසා දැනගන්න උවමනා ගැටලු කොළ කැබැල්ලක ලියලා ඉදිරි පෙලින් පෙලට මාරු කරලා යවලා ගුරුවරයා අතට දෙනවා. ඉන්පස්සේ මුලු පංතියටම ඇහෙන්න චිට් එක කියවන ගුරුවරයා පිළිතුරු ලබා දෙන්නේ අදාළ සිසුවාට පමණක් නොවෙයි මුලු පංතියටමයි. හුඟක් වෙලාවට ඒ යවන ගැටලුව තවත් ළමයෙකුගේ දෙන්නෙකුගේ ගැටලුවක් වෙන්නටත් පුළුවන්. ඉතින් ඒ වැඩේ වෙනදා විදිහටම එදා පංතියේත් සිද්ධ වුණා. ඇතැමුන් ගණිත ගැටලුම නොවන නානාප්‍රකාරයේ අමුතුම සිනහා උපදවන ගැටලුත් චිට් වල ලියා යැව්වා. හේරත් සර්රුත් ඒ වාගේ ඒවාට ප්‍රශ්න වලට නොදෙවෙනි උත්තර දුන්නා. 

අලුතින් ආ ළමයි කීප දෙනෙක් එක්ක කතා බහ කරන අතරතුරේදි ඔවුන් උසස් පෙළට හදාරන්න සිතාගෙන සිටින විෂයයන් ගැන විමසලා එතන කලා අංශයෙන් උසස් පෙළ කරන්නට සිතාගෙන ඉන්නවා කියපු කීප දෙනෙකුට සර් මොන මොනවදෝ කියනවා, පැහැදිලියටම නොවෙයි නමුත් තේරෙන තරමට ඇහුණා. එකත් එකටම කියන්නට ඇත්තේ 'කොමර්ස් කරන්න පුතේ? බැංකුවකට හරි යා ගන්න පුලුවන්' කියා වෙන්නම ඇති. මොකද එතනින් ඇවිත් වේදිකාවට ගොඩ වෙන ගමන් හේරත් සර්ගේ සුපුරුදු තැටිය කරකැවෙන්නට පටන් ගත්තා. උසස් පෙළට කලා විෂයයන් කරන්න ඉන්න ළමයි ගැන දුක් අඳෝනාවක් ඇහෙනවා ඉතින්. ඉතින් මම සර්ට අමතක නොවන චිට් එකක් යවන්නම්කෝ හිතුවා. 

"සර්, ආර්ට් කියන්නෙත් විෂයයක් නේද? ඇයි මේ තරම් ආර්ට් ගැන හෑල්ලුවෙන් කතා කරන්නේ? සර් කියන විදියට ආර්ට් කරලා ජොබ් නැත්නම් ආර්ට් උගන්වන ගුරුවරු කරන්නේ ජොබ් එකක් නෙවේද? එයාලා ඉන්නේ ඉහළම තැනක නෙවෙයිද? ආර්ට් ඉගෙන ගත්තත් රටේ ඉහළම තැනකට එන්න නම් බැරි කමක් නැහැ කියලයි මම නම් විශ්වාස කරන්නේ. මගේ නම් බලාපොරොත්තුව කලා විෂයයන් හදාරලා යන්න පුලුවන් ඉහළම තැනට යන්න... ඒ තමයි මේ රටේ ජනාධිපතිනිය වෙන්න. ඒ වෙලා මුලින්ම කරන්නේ මේ කලා විෂයය දහරාවේ වටිනාකම වැඩි කරන්න, සර් ලා වගේ ආර්ට් ගැන අඩූ තක්සේරුවෙන් හිතන කියන අය ගැන කටයුතු කරන්න වෙනමම ක්‍රියා පටිපාටියක් ගේන එකයි.. පස්සේ ඉතින් හාල්, පාන්, පරිප්පු වල මිල අඩූ කරන්න බැරියෑ... මේ රටේ වෙන්න ඕනා මූලිකම දේ ආර්ට් සබ්ජෙක්ට් ගැන හිතලා වැඩ කරලා ඒ විෂයයන්ට සාධාරණයක් කරන එක" 

ඒ චිට් එක කියවලා සර් කෙලින්ම බැලුවේ මා දිහායි; හැබැයි මූණේ නම් පුදුමයක් ඇඟවෙන පාටක්වත් තිබුණේ නැහැ, නිකන්ම නිකන් හිනාවක් විතරයි. සර් මගේ මූණ දිහා බලලා ඒ එක්කම මුලු පංතියෙන්ම අහනවා... 

 'ළමයි ඔයාලා කැමතිද මේ ජනාධිපතිනිය කවුද කියලා දැනගන්න' 

පංතියම මහා ඝෝෂාවක් එක්ක 'කවුද ඒ සර්?' 'ඔව් ඔව්' මෙහෙම ඒවා කියනවා ඇහුනා... 'දැන් ඉතින් උඹ බයිට් වෙන වෙලාවයි සූදානම් ද?' මගේ හිත කෑ ගැහැව්වා. මම මුලු වීරීයම දාලා හිතට ධෛර්‍ය ගත්තා ඉතින්.. මුලු පංතිය ඉස්සරහම නෝන්ඩි වෙන්න හිතාගෙන... 

එහෙම හිතාගන මමත් නිකන් ගාණක්වත් නැතිව හිටියා. හරියට මමත් ඒ චිට් එක ලිව්ව ජනාධිපතිනිය කවුද කියලා බලාගන්න ආසාවෙන් ඉන්නවා වගේ... ඒත් එක පාරටම හේරත් සර් මගේ ළඟ හිටගන්නකම් මම දන්නෙත් නෑ. 'හරි පුතෝ දැන් බයිට් වෙයන්' 


 සර් මගේ මූණ දිහා බලන් උන්නා... 

 'ළමයි මේ ඉන්නේ අපේ රටේ අනාගත ජනාධිපතිනිය,කෝ පොඩ්ඩක් නැගටින්නකෝ අනිත් අයටත් බලාගන්න...මේ ඉන්නේ ආර්ට් උණ තියෙන ළමයා....රටේ ජනාධිපති වෙන්න හීන බලන...ඔයාලත් ඔයාලගේ වටිනා ඡන්දය මෙයාට දෙන්න ඕනා තේරුණාද? අහ් දැන් ඔබතුමිය වාඩි වෙන්න එහෙනම්, මුලින්ම ඕ ලෙවල් ලියන්න... ඉන් පස්සේ ජනාධිපති වෙන්න බැරියෑ...' 

හේරත් සර් හිතපු තරම්ම නෝන්ඩී කළේ නැති වුණාත් මට නම් පොළොව පලාගෙන යන්න හිතුණා... ඒත් ඒක හරිම සම්ප්‍රදාය විරෝධි වැඩක් කියලා මට හිතුණා. චිට් පාස් කරන ළමයින්ව කවුරුවත් එහෙම පාවලා දෙන්නේ නෑ, ඒක සාම්ප්‍රදායට එරෙහිව යන වැඩක්... මට ඒ වෙලේ නම් සර් එක්ක ඒ හැටි අමනාපයක් ඇතිවුනේ නැතත් ඊළඟ විවේක වෙලාවෙදි කොල්ලෝ ටික පාස් කරපු හින්ට් වලට නම් ඇඟේ මාළු නැටුවා... කොහොම හරි ඉතින් 'රටේ අනාගත ජනාධිපතිනිය' කියන ලේබල් එක මට වැදෙන්න ගියේ පැය දෙකකටත් අඩු කාලයක්. එතනින් නතර වුනේ නෑ... ඔය සිදුවීම නගරයේ හැම පාසලක් අතරම වේගයෙන් පැතිරිලා ගියා, හැමෝගෙම 'රටේ අනාගත ජනාධිපතිනිය' මම වෙන්න ගත්තා... හැමෝම වගේ ඉඩ ලැබෙන හැම් මොහොතකම මාව බයිට් එකට ගන්න අමතක කළේ නෑ... කොහොමෙන් කොහොම හරි ගණන් පංතියේ අවසාන දවසත් ආවා... 

එදා පුංචි උත්සවයකුත් සංවිධානය කරලා තිබුණා... යාලුවන් ගේ පෙරැත්තය නිසාම මම එදා බොහොම අමාරුවෙන් පංතියට ගියා... හැමෝම 'ආයූබෝවන් මැඩම්...!' කියලා දකින දකින සැරේට ආචාර කරනවා... අර මැති ඇමති වරු ඔලුවටත් උඩීන් අත් උස්සලා හෙන ගැම්මෙන් ආචාර කරන්නේ අන්න ඒ වගේ... 'ඉවසන් පපුව ඉවසපන්..ඕවා ගණන් ගන්න එපා..' මම මටම එහෙම කියාගත්තා... 

එදා ගණන් පංතියේ අවසාන දවසේ තෑගි බෙදා දීමේ උත්සවයකුත් සංවිධානය කරලා තියෙන වග අපි දැනන් උන්නෙම නෑ... සර් ගේ ස්කෝලේ බැච් එකේ යාලුවෙක් වෙන දැනට රංගන වේදිකාවේ ප්‍රබල චරිතයක් එදා උත්සවයට ආවමයි අපි ඒ ගැන දැනගත්තේ... ඉතින් එදා පංතියේ අවසාන දවසේ එක එක විදියේ තෑගි බෙදලා දුන්නා... සමහරුන්ට වැඩිම ලකුණූ වලට, සමහරුන්ට දිනපතා පැමිණීමට ඔය වෙගේ දේවල් වලට තෑගි බෙදලා දුන්නා. මම දැනන් හිටියා මට ඕවායෙන් එක තෑග්ගක්වත් ලැබෙන්නේ නෑ කියලා ඒත් එක පාරටම මහා අමුතු තෑග්ගක් දෙන්න එනවුන්ස් කලේ හේරත් සර්මයි.... 

 'මම මෙච්චර කාලයකට දැක්ක හොඳම පෞරුෂයක් තියන, මගේ මෙතෙක් පංති වල හිටි කාටවත් තිබුණේ නැති ලොකූම හීනයක් තියෙන, මාවත් පරද්දගෙන ඉස්සරහට යන්න හිතාගෙන ඉන්න, ටිකක් විතර පණ්ඩිත කෙල්ලෙක් මේ පංතියෙන් මට මුණ ගැහුණා... මම දන්නවා මේ ළමයි කවුරුත් කවදා හරි හොඳ තැනකට එන විත්තිය... ඒත් මේ හීන මේ තරම් බලගතු වෙයි කියලා මන් කවදාවත් නම් හිතුවේ නෑ... ඉතින් මේ තෑග්ග මම එයාට දෙන එක එයාගේ හීන පාට කරගන්න හොඳ අත්වැලක් වෙයි කියලා මම විශ්වාස කරනවා....' 

හේරත් සර් එහෙම කියලා එක පාරටම මං දිහා බැලුවා... මාව නිකම් සීතල වෙලා ගියා... එදා චිට් එක ලියලා මාට්ටූ වුණ දවස හොඳයි කියලා හිතුණා... සර් මගේ නම කතා කළා... එකින් එක කඩ කඩ වැදුනු අත්පුඩී වැස්සක් වගේ වහින්න ගත්තා... වැඩිපුරම හිටියෙත් ඉතින් අපේ ස්කෝලේ අය නිසා මට කොහොමත් එහෙම අත්පුඩි වදින එක පුදුමයක්ම නම් නෙවෙයි... මම එතනට ගියා නෙවෙයි මාව එතනට යැවුනා කිව්වොත් හරි. අත්පොළසන් වරුසාව මැද්දෙන් මම හේරත් සර්ටත් අර වේදිකා නාට්‍ය නලුවටත් වැඳලා තෑග්ග අතට ගන්නවත් එක්කම, හේරත් සර් අර මනුස්සයට කියනවා... 

 'මේ ඉන්නේ රටේ අනාගත ජනාධිපති.' 

මගේ මූණ රතු වුණ හැටි ඒ වෙලේ කාටවත්ම පෙනුනේ නැත්තේ මගේ මූණ කලු නිසා වෙන්න ඇති. ලැජ්ජාව කියන එක නම් කවදාවත් නොදැනුන විදිහට එදා නම් හොඳටම දැනුනා... එදා ඒ තෑග්ගේ ඔතලා තිබ්බේ දයාරෝහණ අතුකෝරාළ ගේ 'YES I CAN' කියන පොත... මං හිතන්නේ සර්ට ඇත්තටම හිතුණ ද දන්නේ නෑ, මම කවදා හරි ජනාධිපතිනියක් වෙයිමත් ද කියලා... කොහොම හරි ඒ සිද්ධියෙන් පස්සේ හුඟාක් අයට මාව අදටත් හොඳට මතකයි. විශේෂයෙන් හේරත් සර්ට... 

එදා එහෙම ජනාධිපති වෙන්න හීනයක් නම් ඇත්තටම හිතේ තිබුණේ නෑ. ඒත් ඒ වගේ හීනයක් ගැන විහිලුවට හරි හිතපු එකේ සංසාරගත කළකිරීමක් නම් දැන් එමට දැනෙනවා මේ වත්මන් දේශපාලුවන් ගේ හැසිරීම් රටා දැක්කම. අඩූම ගණනේ පාර්ලිමේන්තුව ළඟින්වත් යන්න හිතෙන්නේ නැති තරම්... 

 ඔන්න ඔහොමයි මම රටේ අනාගත ජනාධිපති වෙන්න හින මැව්වේ.......!

Saturday, 2 April 2016

කූල් කරපු ගුරාමි - පවර් කට් කතාවක්...!


දැන් මේ විනාඩි දහයකට කරන්ට් කපලා අපේ කට්ටිය මැරෙන්න හැදුවත් මට මතකයි ඉස්සර අපි පොඩි කාලේ දවසට පැය දෙකක් කරන්ට් කපනවා. ඒ චන්ද්‍රිකා ගේ ආණ්ඩුව කාලේ. රෑ 8 ඉදන් 10 වෙනකම් කරන්ට් නෑ. අපි ඉතින්  ලාම්පු එළියෙන් හරි ඉටි පන්දන් එළියෙන් හරි තමයි ඒ පැය දෙකේ කාලය ගත කළේ. ඇත්තටම ඒ කලුවරේ  ලාම්පු එළියෙන් ගත කරපු පැය ගාණ හරිම සුන්දරයි. මමයි මල්ලියි බ්‍රිසිල් බෝඩ් එකක දාම් කොටුවක් ඇඳගෙන පාට දෙකක ටොනික් පියන් අරගෙන දාම් අදිනවා. ඒ කාලේ ෆෝන් ලැප් ටොප් ඔය ජංගම හිර කූඩු තිබුණේ නෑනේ. අම්මලට නම් කරන්ට් කපපු එකෙන් වුණේ අර හැම දාම බලන ටෙලි නාට්‍ය ටික බලාගන්න බැරි වුණ එක විතරයි. ඒ ඇරෙන්න අපිට නම් ඒකෙන් වුණ ලොකූ බලපෑමක් තිබ්බේ නෑ. 

දැන් මේ හුරතලේට ආදරේට බල්ලෝ පූසෝ ඇති කළාට ඉස්සර අපේ ගෙදර තිබ්බෙ ලොකු මාලු ටැංකියක් විතරයි. ඕකේ එක එක ජාතියේ මාලු හිටියා, පාට පාට එවුන්. මමයි මල්ලියි හුඟාක්ම කරන්ට් කැපුවම දාම් අඳින්නේ ගෙදර ඉස්තෝප්පුවේ මාලු ටැංකිය ළඟ. මාලු ටැංකිය තිබුණේ ලොකු ලී මේසයක් උඩ. සාමාන්‍ය හතරැස් මේසයක්... ඒකටම හයි වෙන්න වීදුරු ටැංකිය හයි කරලා, ගෙදරක වහලක් වගේ ටැංකියට උඩින් පොඩි ලී වහලක් හයි කරලා තිබ්බේ. උන්ට කෑම දාන්න ඉඩ තියෙන්න ඒ වහල ටිකක් ටැංකියට අඟල් හයක් විතර උඩට වෙන්න මේසයේ හතර කොනේ හිල් හතරක් විදලා හයිකරපු ආධාරකයකින් රඳවලා තිබ්බේ. අර මාලු ටැංකිය තියෙන මේසයේ දෙකෙලවරේ ඉටි වක් කරලා අපි ඉටි පන්දම ඒ ඉටි ගොඩේ රඳවනවා. ඉටි පන්දම් එළියෙන් ටැංකියේ මාලුන්ව එහෙම හරි අමුතු ලස්සනකට පේනවා. 

ඔය ටැංකියේ හිටියා තැඹිලි පාට ගෝල්ඩ් ෆිශ් ජෝඩුවක්. මේ දෙන්නා අපි දවල්ට හවසට බලන ඕනම වෙලාවක දකින්නේ එක ගෝල්ඩ් ෆිශ් මාලුවෙක් හයියෙන් ඉස්සරහින් පීනනකොට අනිකා ඒ පස්සේ එළවනවා. ඉතින් මාලුන්ගේ පිරිමි සත්තු ගෑණු සත්තු හොයන්න දන්නේ නැති නිසා මමම තීරණය කෙරුවා ඒ ඉස්සරහින් හයියෙන් පීනන් යන්නේ ගෑණු සතා වෙන්න ඇති, පිරිමි සතා ඒ පස්සේ යනවා වෙන්න ඇති කියලා. මිනිස්සුන්ගේ ලෝකේ වෙන සමහර දේවල් සත්තුන්ගේ ලෝකෙත් ඒ විදිහටම වෙනවනේ... ඒකයි. ඉතින් අනිත් මාලු ටික කලුවරේ සිල් රකිනකොට අර දෙන්නට නම් පුදුම දාංගලයක් තියෙන්නේ. වෙලාවකට මේ දෙන්නගේ ආදර රැඟුම් වැඩි කමට වතුර ටික 'ජබොක් ජබොක් ' ගාන සද්දෙත් ඇහෙනවා. හරියට වතුරට  තිරිවානා ගල් වැටෙනවා වගේ. ඉතින් එහෙම මේ ජෝඩුව නටනකොට ටැංකියෙන් පිටතට වතුර  වීසි වෙලා ඉටි පන්දම පවා නිවෙනවා... පස්සේ අනික් ඉටි පන්දමෙන් ටැංකිය ඇතුළ බලනකොට ජෝඩුව මුකුත් නොවුන ගාණට ඉන්නවා. ටැංකියේ හැම ජාතියේම මාලු වර්ග හිටියා,ගෝල්ඩ් ෆිශ් , ටැංකි සුද්දෙක්, සාරි ගප්පියෝ තව පොඩි පොඩි පාට පාට ගේ පිටිපස්සෙ වෙලෙන් අල්ලන් ආව මාලු පැට්ව් වලින් මාලු ටැංකිය ලස්සන වුණා.

ඉතින් එදත් වෙනදා වගේම රෑ 8 වෙනකොට කරන්ට් කැපුවා. අපි පැය භාගයකට විතර පස්සේ සුපුරුදු විදියටම අර බ්‍රිසිල් බෝඩ් එකේ හදාගත්ත දාම් බෝඩ් එකේ දාම් අදින්න පටන් ගත්තා. 
ටික වෙලාවකින් අම්මා තාත්තාට කෝල් එකක් ගන්නවා වගේ ඇහුණා..

'මේ ඒයී හෙට උදේට උයන්න මොනවා හරි එනකොට ගේනවද? ගෙදර හරියේ මාලුත් මුකුත් නෑ.'

අම්මා තාත්තා එක්ක කතාවෙන් පස්සේ කෙළින්ම ආවේ අපි දාම් අදින තැනට. සද්දයක් බද්දයක් නැතිව අහක බලන්නෙ නැතිව දාම් අදින්නේ බෝඩ් එක ඇතුළටම බැහැගෙන. මොකද අහක බැලුවොත් මල්ලි හොර කරන්න බැරි නෑ. කීප වතාවක්ම එහෙම වෙලත් තියෙනවනෙ. ඉතින් අන්තිමට වෙන්නේ රණ්ඩුවකින් සෙල්ලම ඉවර වෙන එක.

'ඉටි පන්දම් ඉවරයි තව වෙලා යලි වගේ කරන්‍ට් එක එන්න මම මෙතන කඩේට ගිහින් එන්නම් ඉටි පන්දම් අරන් දෙන්නා රණ්ඩු වෙන්නේ නෑ ඕන්.'

අම්මා එහෙම කියාගෙන කඩේට යන්න එළියට බැස්සා. අම්මා යනවාත් සමඟම ගේ අයිනේ අන්දර වැට අයිනේ බයික් එකක් නවත්වනවා වගේ සද්දයක් ඇහුණත් ඒක ඒ හැටි ගණන් ගත්තේ නෑ මොකද දාම් අත බලන්න එපැයි... මල්ලි හොර කළොත්...

'ගෙදර කවුද?'

අපේ ගෙදරට කවුදෝ ඇවිත්. මේ කට්ට කලුවරේ කවුද මේ ඇවිත් ඉන්නේ? මාලු ටැංකියේ මේස කොනේ ගහලා තිබ්බ ඉටි පන්දම අරගන මම  ඉස්තෝප්පුවේ දොර පැත්තට හැරුණා...

'මල්ලි එනවකෝ ටිකක් කවුද  ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න.?'

'මට බෑ '

ඇත්තටම බයක් නිසා නෙවෙයි මල්ලිට කතා කලේ. මම එහෙට මෙහෙට යනකම් ඉදලා මෙයා ටොනික් ඉත්තෝ ටික එහෙට මෙහෙට කරන්න බැරි නෑනේ... එයාට ඕනා හැමදාම දිනන්න. ඒවා කොහෙද මා එක්ක... මෙහෙම ළතැවෙවි ඉන්නකොට අර බයික් එකේ ආව මනුස්සයා ගේ දොර ළඟටම ආවා. මොකක්ද පාර්ස්ලයක් අතේ තියෙනවා දැක්කා ඉටි පන්දම් එළියට. හැබැයි මූණ නම් පැහැදිලි නෑ. කොහොම වුණත් මීට කලින් නම් දැකලා තිබුණ නැති මූණක්.

'පුතා මේ ශාන්ත රාළහාමිලාගේ ගෙදර නේද?'

'ඔව් මෙහේ තමයි'

'අහ් මෙන්න මේ මාලු ටික තාත්තා දෙන්න කිව්වා පුතා.'

කහ පාටට හුරු තරමක් උස ප්ලාස්ටික් අයිස් ක්‍රීම් පෙට්ටියක් පොලිතින් බෑග් එහෙකට දාලා. ලා අඳුරේ වුණත් කහ පාටට මම ඒ පාර්සලේ දැක්කා. ටිකක් විතර බරයි.  

'තාත්තා හෙට උයන්න මාලු එවලා වෙන්නැති'

මම එහෙම හිතාගෙන පාර්සලේම ෆ්‍රිජ් එකේ ඩීප්ෆ්‍රීෂර් එකේ දැම්මා. ඊට පස්සේ ආයෙමත් දුවලා ගියේ දාම් අදින තැනට. මේ  විනාඩියටත් මෑන් ටොනික් ඉත්තෝ එහේ මෙහේ කරලා  ගේම් එක එයාගේ වාසියට හරවන් කියලා මට දැනිලා තිබ්බේ... ඒත් මම දෙන්නම්කෝ වැඩේ කියලා හිතාගෙන ආයේ ගේම් එකට බැස්සා...ටික වෙලාවකින් ඉටි පන්දමුත් අරන් අම්මත් ගෙට ගොඩ වුණා. විනාඩි 15කට විතර පස්සේ සෙල්ලම ලෙල්ලම් වීගෙන එනවා... 

අම්මා සැර කරපු නිසා ටිකක් කරබාගෙන හිටියා...

'හොරා  හැම්දාම හොර කරලා දිනන්නේ...'

මම ආයේ පටන් ගන්නකොට , අම්මා කට වහගන්න කියලා ටිකක් තදින් කිව්ව නිසා ආයෙමත් සද්ද නැතිව හිටියා.  කරන්ට් එක නම් දැන් එන්නට වෙලා. නමුත් පරක්කුයි. හදිස්සියේම අර අංකල් ගෙනත් දුන්නු මාලු පාර්සලේ මතක් වුනානෙ මට.

'අහ් අම්මේ.... කවුද අංකල් කෙනෙක් ඇවිත් මාලු  ගෙනත් දීලා ගියා තාත්තා දෙන්න කිව්වා කියලා... මම ඒක ෆ්‍රිජ් එකේ දැම්මා.'

මම එහෙම කියනවාත් එක්කම අම්මා ෆ්‍රිජ් එකේ දොර අරින සද්දය ඇහුණා. ඒ එක්කම අම්මාගේ හඬ තරමක් උස් හඬින් ඇහුණා...

'අයියෝ මේ වගේ ගොන් ගහක්...! මොළයක් කියලා එකක් නැත්තටම නැද්ද  කෙල්ලේ...! '

මම කුස්සියට දිව්වේ මං කරලායි කියන ගොන් වැඩේ බලාගන්න. ඒත් මට වඩා උනන්දුවෙන් දුවන් ආවේ මල්ලි.

'ඇයි මොකද වෙලා තියෙන්නේ...?'

'ඇයි මෝඩියේ... මේක ප්‍රිජ් එකට දාන්න කලින් ඇරල බැළුවෙ නැද්ද? මෙව්වා උයන්න එවපු මාළු නෙවෙයි. තාත්තා එවලා තියෙන්නේ ටැංකියට දාන්න මාළු දෙන්නෙක්....'

'මොකක්?... කෝ බලන්න...?'

'අයියෝ.... ගුරාමි පැටව් දෙන්නෙක් නේ ද?'

මල්ලි කියද්දි මමත් එබිලා බැලුවා.... ඔව් නේන්නම් ගුරාමි පැටව් දෙන්නෙක්... ඇයි යකඩෝ මම මේක නිකමටවත් ඇරලා බැලුවෙ නැත්තෙ? මුන් දෙන්නා මැරුණා නම්...? ඒ වෙද්දිත් භාජනේ ටිකක් කූල් වෙලා තිබ්බේ... විනාඩි විස්සක් විතර මුන් දෙන්නා මේක ඇතුලේ නොමැරී හිටිය එකම මදැයි... මම ඉක්මනට උන් දෙන්නාව ගෙනියලා ටැංකියට දැම්මා. මල්ලිගේ නෝන්ඩි කිරිල්ලේ නම් ඉවරයක් තිබුණේ නෑ...

අර ගුරාමි පැටව්‍ දෙන්නාට මොනවා නම් හිතෙන්න ඇද්ද? ‍වෙලාවට එදා එවෙලේ කරන්ට් කපලා තිබුණේ....!

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...