Monday, 28 March 2016

සුභානිගේ අම්මාගේ වයලීන වාදනය

ඒ තමයි ජිවිතේ සුන්දරම කාලය.
අපි හැමෝගෙම ජිවිත වල ලස්සණ ම කාලය. අපි හැමෝටම ඒ කාලේ තිබ්බ හීන එකම වගේ. එක වසරේ ඉන්නකොට අපිට දෙකේ පංතියට යනකම් ඉවසිල්ලක් තිබ්බේ නෑ. පැන්සලෙන් ලියන කාලය අහවර වෙලා පෑනෙන් ලියන කාලය එනකම් අපි හිටියේ නොඉවසිල්ලෙන්. මම හිතන්නේ අපේ වයසත් එක්කම අපේ හීන වල ප්‍රමාණය, දිග පළල, තීරණය වෙනවා. ඒ ඒ කාල වල අපේ සිතිවිලි එක්ක අපේ හීන වල ගුණාත්මක බවත් තීරණය වෙනවා කියලයි මට නම් හිතෙන්නේ.
කොහොම හරි අපි ඒ වෙනකොට තිබ්බ ලොකුම කඩඉම පහු කරන් හත වසරට ආවා කියන්නකෝ... ඒ වෙනකොට අපිට තිබ්බ ලොකුම දේ තමයි ශිෂ්‍යත්ව විභාගය කියන්නේ.
විභාගේ ලියලා ගෙදර ආවම අම්මා ගත් කටටම ඇහැව්වේ...
'විභාගේ ලේසි ද? පාස් වෙයි ද?'
ඉතින් මම ගත් කටටම කිව්වා...
'කෙසෙල් ගහට ඇන්නා වගේ ලේසියි අප්පා..  මාර ලේසි ප්‍රශ්න ටික'
මම අහගෙන අම්මා වටේ පිටේ අය එක්කත් කියනවා මම කෙහෙල් ගහට ඇන්නා වගේ විභාගේ ලේසියි කියපු කතාව.
ඇත්තටම විභාගේ ලේසි වැඩිකමටම ද කොහෙද මම කෙහෙල් ගස් උඩින්ම පාස් වෙලා තිබ්බා... සීයටත් අඩු ගාණක් අරන්. එදා ප්‍රථිපල ඇවිත් ගෙදර ආව දවසේ නම් කෙහෙල් ගස් උඩින් පනින්න හිතෙන තරමට අම්මගේ දෙහි කැපිල්ල නම් වෙනසක් නැතුව තිබ්බා...
ඊට පස්සේ කොච්චර විභාග ලේසි වුණත් මම කෙසෙල් ගස් ගැන නම් මතක් කළේවත් නෑ.
ඒ කාලේ අපිට සෞන්දර්ය විෂය තෝරගන්න තිබ්බේ හත වසරෙ දි...
වයලින් වලට තියෙන ආසාව නිසාම මම සංගීතය, පෙරදිග සංගීතය, තෝරගත්තා. ඒ වුනත් එතකොට මට වයලින් එකක් නම් තිබ්බේ නෑ. මියුසික් කරපු සමහර ළමයි ළඟ වයලින් තිබ්බා. වයලින් වාදනය නම් ඇත්තටම මට බෑ. මට ආසාව තිබ්බේ නම් වයලින් එකක් අතේ අරන් පද්ද පද්දා ස්කෝලේ එන්නයි.
මා එක්ක එකට බස් එකේ ගිය බාලිකා රැජිණක් හිටියා... එයා තමයි අර වෝල්ස් අයිස් ක්‍රීම් කතාවේ සුභානි. අපේ ස්කෝලෙට අල්ලපු ස්කෝලේ. ගෙවල් තිබ්බෙත් අපේ ගෙවල් කිට්ටුවමයි. එයා කළෙත් මියුසික්. ඉතින් එයා ළඟ නම් වයලින් එකක් තිබ්බා. ඕක සතියට දවස් දෙක තුනක්වත් සුභානි ස්කෝලේ ගෙනියනවා.
මටත් ඉන්න බැරුවට මම සුභානිගෙන් මෙහෙම ඇහැව්වා.

'සුභානි ඔයා ඔය වයලින් එක කීයකට ද ගත්තේ?'
'හ්ම්ම්ම් දන්නේ නෑ මෙයා... මේක තාත්ති ප්‍රසෙන්ට් එකකට දුන්නේ මම අහලා කියන්නම්. ඇයි ඔයා එකක් ගන්නද?'
'නෑ එකක් ගන්නත් ඕනා... ඒත් මේ අනිද්දට ස්කෝලේ මියුසික් මිස් කිව්වා වයලින් ප්ලේ කරන්න කැමති ළමයි ඉන්නවා නම් කියන්න මිස්  හවස අමතර පංතියක් කරනවා කියලා'
මම එහෙම බොරුවක් කිව්වේ කොහොමද? හරියට ඒක ඇත්තක්ම වගේ කිසිම ගාණක් නැතිව? මේ වයලින් එකක් උස්සන් යන්න තියෙන ආසාවට බොරු කියන්නේ... මට ලැජ්ජාවක් නැද්ද? මගේ හිත කෑගහනවා සුභානිට ඇසුණා නම් එයා හැමෝම ඉස්සරහා මාව අපහාසයට ලක් කරන්නත් ඉඩ තිබුණා.
'අහ් ඉතින් අම්මට කියලා ඔයත් එකක් ගන්නකෝ' සුභානි නොරිස්සුම් හඬින් කිව්වා.
මෙච්චර ලොකුකම් දාන කෙල්ලගෙන්ද උඹ ඕක ඔය ඉල්ලන්න හදන්නේ? මම මටම කියා ගත්තා. නමුත් වයලින් එකක් අතේ තියෙන වෙන යාළුවෝ මට සිටියේ නැහැ. අපේම ස්කෝලෙ කෙනෙක් ගෙන් ඉල්ලන්නත් බෑ.
'ඔව් එකක් ගන්නත් ඕනා... අම්මා කිව්වා මේ පාර මගේ උපන්දිනයට අරන් දෙනවා කියලා. ඒත් මේ මිස් කිව්වනේ හරියට ප්ලේ කරන අයව තෝරාගැනීමක් කරනවා කියලා. ඉතින් මේ අනිද්දා තෝරගන්න එකට තිබ්බොත් ඇති.. ඊට පස්සේ මම කොහොමත් හොඳ එකක් ගන්නවා...'
මම එක දිගට කියාගෙන ගියා. එයා කිසිවක් නොකියා පාරේ බසයක් එනතුරු බලාගෙන සිටියා.
'මේ ඔයාගේ එක ටිකක් දෙන්න බෑ නේ...හ්? මම අනිද්දට ආපහු දෙන්නම් ඔයාට'
මම ගාණක් නැතිව ඇහුවා.
'අනේ අම්මගෙන් ආ..හන්න ඕනා, එයාගෙන් අහලා හා කිව්වොත් දෙන්නම්'
සුභානිගේ ඔළුවේ ලොකුකමක් තිබ්බට එයාගේ හිත හොඳ බව මම පුංචි කාලයේ පටන් දන්නවා. කොහොම හරි ඒ උදේ කතාව එතනින් අවසන්...
ස්කෝලේ ඇරිලා ගණන් උපකාර පංතිය සඳහා පිටත් වුනා.
සුපුරුදු පරිදි  සුභානිගේ අම්මා දවල් කෑමත් අරගෙන පංතිය අසළට ඇවිත් ඉන්නවා මම දැක්කා. සුභානි එයා අහලට ගිහින් මොනවදෝ කියනවාත් මම දැක්කා. ඒ නම් නිසැකයෙන්ම මම වයලිනය ඉල්ලු බව කියා විශ්වාසයි. මොකද ඉන් පස්සේ සුභානි මට ඈත සිට අත වැනුවා. මම දෙපාරක් නොහිතා  එක පිම්මෙන්ම දිවගෙන ගියා එතැනට.
'පුතා වයලින් එක දෙන්නම් පරිස්සම් කරලා දෙන්න ඕනා තේරුණාද? '
පහුවදා උදේ සිතූ ලෙසම වයලීනය අතට ලැබුනා. මොකක්දෝ මහා අභිමානයක් වගේ එකක් සිතට දැනුනේ
පාසලට වයලින් එකත් අරගෙන පද්ද පද්දා ගියාම හැම එක්කෙනාම මාව වටකරගෙන...
'මේක අලුතෙන්ද?'
'කීයක් වුණාද?'
'පාවිච්චි කරපු එකක් වගේ..'
'ඔයාගෙමද? කාගෙන් හරි ඉල්ලගත්තද? '

මම මුකුත්ම නොකියා ඉන්නට වග බලාගත්තා.
එදා හවස පාසල නිමවී ගෙදර ගොස් සුදු ඇඳුම් මාරු කරන්නටත් පෙරම කරපු පලවැනි දේ වයලීනය හෙමින්ම අතට අර ගෙන පිරිමදින එකයි. ඉන්පස්සේ උරහිසට තියලා නිකටෙන් තද කරන් හැබෑවූ හීනය ගැන හිත හිතා ගේ පුරාම ඇහෙන්න, වා තලයට මුසු කළේ බෝ එකෙන් මැදෙන තත් අතරින් පිටවු එකිනෙකට නොගැලපෙන ස්වරයෙන් පැහැදිලි තාලයකුත් නැතුව වාදනය වූ වයලීන හඬයි.
'උඹ ඕක අනුන්ගෙන් නේද ඉල්ලන් ආවේ...? පුලුවන් නම් කඩපන්කෝ'
ඒ ආච්චි අම්මාය. ඇය වස් කීවොත් කීවාමය, සෙත් කීවොත් ඒත් එලෙසමය.
ඊලඟ විනාඩි කීපයේ දී ඇගේ වස් කවිය මට කිවූ ලෙසටම  වැදුනි.
හරියට ස්වර හදන්නට වයලීනයේ තත් සුසර කරන්නට යතුරු කැරකවූ විට ඕනෑවට වඩා තදවුනු තත් දෙකක් ඩීං ගාගෙන කැඩුණි. මහා අසරණ කමක් දැනුනි. වයලීනය නැවත යථා තත්වයට පත් කරන්නට නම් සෑහෙන මුදලක් වැය කල යුතු විය යුතුය. තාත්තා මෙය දැනගතහොත් අම්බානෙක ගුටි ලැබෙන බවද ස්ථිරය. ඊටත් වඩා සුභානිත් ඇගේ අම්මාත් මෙය දැනගත් විට ඔවුන්ගේ හැසීරිම කෙබඳු විය හැකි ද?
මට සුභානිටත් වඩා තදින්ම මතක් වන්නට වූයේ ඇගේ මවය. ඉන් පස්සේ තාත්තා ගේ වේවැල් පාරවල් ය.

'පුතා මේක පරිස්සම් කරලා දෙන්න ඕනා'
'උඹ පුලුවන් නම් කඩපන් කෝ ඕක'
මට ඒ කතාවල් මාරුවෙන් මාරුවට ඇසෙන්නට විය.....
මම වයලීනය ඒ පරිද්දෙන්ම නැවත පෙට්ටියට දමා වැසීමි. පහුවදා..... අපේ මියුසික් මිස් ගේ වයලින් වාදකයින් තෝරන දවසේත් ඉන් පහුවදාත් බොරු අසනීපයක්  ගෙන මම ගෙදර නැවතුනෙමි.
කතා කරගත් විදියටම ඊට පහුව දා වයලීනය ආපහු දෙන දවස උදා විය. අද සමහර විට මම පංති ආවේ නැති නිසා සුහානියි අම්මයි ගෙදර එන්නත් බැරි නෑ. මට එක එක දේවල් මතක් වෙන්නට විය.සියල්ලටම වඩා මෙය තාත්තාගෙන් සහ ආච්චිගෙන් වසන් කළ යුතුය. කෑමක් බීමක් නැතිව ලෙඩ මරගාතේ මෙන් ඔහේ ඇඳටම වී සිටියෙමි. අද තාත්තා ගෙදර නැතිය සිටින්නේ ආච්චි පමණි.
ගේට්ටුවට කවුදෝ තට්ටු කරනවා මෙන් ඇසුනි...
ඉවරය. ඉවරටම ඉවරය. ගින්න පටන් ගන්න මොහොතය. ආච්චිට කලින් මම ඉක්මන් වෙන්නට සිතුවත් එය එසේ සිදු නොවීය. ගේට්ටූව අසළ සිටියේ මා අනුමාන කළ පරිදිම සුභානිගේ අම්මාය. ඇය ආච්චි සමඟ මොනවාදෝ කතා කර ඉන්නවා ජනේලයේ රෙද්ද අතරින් මට පෙණුනි.

'දෝනී...දෝනී... මේ අර ළමයගේ වයලින් එක ගෙනියන්න ඇවිත්...  ඕකත් අරන් එනවද මේ ඇන්ටීට පරක්කු වෙනවලු'
එකත් එකටම සුභානි තවම පංතියේ වෙන්න ඇති? ඒකයි එයාලගේ අම්මා විතරක් ඇවිත් ඉන්නේ. කමක් නෑ ඇත්තම කියනවා... මොකක් කරන්න ද? මිනිස්සු අතින් නේ වැරදි වෙන්නේ? අනික මේක මම හිතලා කරපු වැඩක් නෙමෙයිනේ? ඒත් ප්‍රශ්නේ ඒක නෙවෙයි..  ඕක හදනවා නම් දහ පාලොස් දාහක් විතර වෙයිනේ... තාත්තාට ඒකට තරහා නොගිහින් තියෙයි ද? ඒකනේ ඉවසන්න බැරි...
'කෝ ළමයෝ එන්න ටක් ගාලා'
ආච්චි මට කතා කරනවා. ආයෙත් කතා කරන්නට පෙර මම එතැනතට හනික ගියෙමි. කරන්න දෙයක් නෑ කොහොම හරි කියන්නම වෙනවා.
'ඇන්ටී...  අනේ ඒක මගේ අතින් කැඩූනා, අනේ මට සමාවෙන්න. මම ඒක ඉක්මනට හදවලා දෙන්නම්, නැත්නම් අළුත් එකක් අරන් දෙන්නම්, අනේ ඇන්ටි මට සමාවෙන්න'
ගේට්ටුව ලඟට යන අතරතුර මම කියන්නට  වචන ගළපා ගන්න උත්සහ කළෙමි. වටපිටාවේ මහා මූසලකමක් පැතිර ගියාසේ මට දැනුනි. ඒත් කොහොමින් හරි අවසානයේ මම එය කියා දැමුවෙමි.
'ඇන්ටී...  අනේ ඒක මගේ අතින් කැඩූනා, අනේ මට සමාවෙන්න. මම ඒක ඉක්මනට හදවලා දෙන්නම්, නැත්නම් අළුත් එකක් අරන් දෙන්නම්, අනේ ඇන්ටි මට සමාවෙන්න'
මම එක හුස්මටම කිවෙමි.
ඇගේ ඇස් ජිල් බෝල දෙකක් මෙන් ලොකු විය.. රවුම් විය... හිතු ලෙසම ඇය මහා හයියෙන් කෑ ගසන්නට විය. මහා අපරාධයක් සිදුවුනා සේ ඇය මට චෝදනා කරන්නට විය.
ආච්චි කිසිත් නොකියා බලාගෙන සිටියාය. වයලීනයක තත් දෙකකට ‍කෙතරම් වචන එළියට ගන්නට පුළුවන් ද? එක අතකට ඇයගේ කෝපය සාධාරණය. මම මීට වඩා සැළකිලිමත් විය යුතුව තිබුණා. දැන් ඉතින් කරන්නට දෙයක් නැත. සියල්ල සිදු වී හමාරය. එක දිගට... එක දිගට... ඇගේ මුවින් වාදනය වූ  බැනුම් තොගය විනාඩි දහයක් පමණ ගලා ගියේය. අවසානයේ දී වයලීනය යළි යථා තත්වයට හරි ගස්සා ගෙනවිත් දෙන්නට ආච්චි පොරොන් දු වුවාය.
එදා මුලු රෑම මට නින්දක් නම් නොවීය...  ආච්චිද කිසිම කතාවක් නැත. වයලීනයද කිසිවක් නොවුනා සේ මාගේ පොත් මේසය මතය. තාත්තා මෙය දැනගත් පසු ගන්නා පියවර ගැන වේවැල් පාරවලට වඩා පැහැදිලි අදහසක් මට තිබුණේ නැත. නමුත් හිතට ශක්තිය ගෙන නින්ද ගියා වාගේ ඇස් තද කරගෙනම සිටියෙමි. තාත්තාගේ බයික් එකේ සද්දයට හිත ගැස්සිලා ගිය මුත්, කාමරයෙන් පිටතට නෑවිත් ඇඳ මතම දිගාවී නිදි සේ සිටියෙමි.
තාත්තා ගෙට ගොඩ වෙනවාත් සමඟම ආච්චි හවස සිදුවීම එක දෙක කර කියන්නට වූවාය. සිවිලිමේ විදුලි පංකාවට වඩා  වෙගයෙන් මගේ හිත බ්‍රමණය වන්නට විය. තාත්තා කිසිවක් නොකියාම කෑම කා වෙනදටත් වඩා කලින් නින් දට ගියේය. නමුත් හෙට දිනයේදි ඔහුගේ දඬුවම ලැ‍බෙන බව නම් නොඅනුමානය.වයලීනය දිහා බලාගෙනම එදා රෑ මට නින්ද ගොස් තිබුණි.

පහුවදා සෙනසුරාදා දවසක් නිසා ඇහැරෙන විට උදේ  8ත් පසු වී තිබුණි. මේසය උඩ වයලීනය තිබ්බේ නැත.
මගේ හිත කුතුහලයෙන් පිරිණි. වයලීනයට කුමක් සිදු වුනිද? සුභානි ඇවිත් රැගෙන ගියාවත්ද? එය නැවත හදන්නට නම් සැහෙන මුදලක් වැයවෙන නිසා තාත්තා හිත් තැවුලෙන් සිටිනවා වත්ද? එකින් එක ප්‍රශ්න වැලක් මගේ හිතේ පෙළ ගැහෙන්නට විය. මේ දේවල් ආච්චිගෙන් ද ඇසිය නොහැක. ඊයේ සිදුවීම නිසා ඇය මා හා තවමත් අමනාපයෙනි. ටික වෙලාවකට පසු තාත්තා ආවේය, ඒ වයලීනයද අතැතිවය. ඔහු එය මා වෙතට දික් කලේය.
'ආ මෙන්න, අනිත් දවසේ අනුන් ගේ බඩු මෙහේ ගේන්න බෑ තේරුණා ද?'
ඔහු ස්ථිරසාර ස්වරයකින් කීවේය. මම වහා වයලීනය අතට ගෙන බැලුවෙමි. එය ගෙනෙද්දී තිබුණා සේම දකින්නට ලැබීමෙන් මගේ පුංචි සිත ප්‍රීතියෙන් ඉපිල ගිය හැටි කවදාවත් අමතක නොවෙයි. කොච්චර ගාණක් ගියාද දන්නේ නෑ? මම හිතින් ප්‍රශ්න කලෙමි.
'තාත්තේ කීයක් ගියාද මේක හදන්න?'
‍'ඇයි මොකටද?'
'නෑ මේ නිකමට ඇහු‍වෙ'
'තුන්සිය පණහක් ගියා. ඕක දැන්ම ඒ ළමයට  දෙනවා'
මොකක් තුන්සිය පණහක්? රුපියල් තුන්සිය පණහක් ද මේක හදන්න ගියේ? තුන්සිය පණහක් ද?
ආයේ නම් වයලින් එකක තියා මොන භාණ්ඩයක වත් තත් වලට නම් අතවත් තියන්නේ නෑ...!
තුන්සිය පණහක් වුණත් අහන්න වෙන බැනුම් කෝටිය....

මම හිනාවෙන ගමන් සුභානිලා ගෙදරට දිව්වෙමි.



4 comments:

  1. මාර ලස්සන කතාවක්.ෙපාඩි කා ෙල මතක් උනා

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම ජිවිතේ රසවත් කතා තියෙනවා, අපි ඒවා පාට කොළ වල ඔතලා දුන්නම හැමෝම මේ වගේ ආසාවෙන් ලිහලා බලලා රසවිඳිනවා

      Delete
  2. හරිම රසවත් .. මං අන්තිමට අනුමාන කරන් හිටියෙ අන්තිමට වයලින් එකක් හම්ඛෙලා මෙයා ඒකෙන් ඉගනගෙන අන්තිමට සුබානිට හිතන්නවත් බැරිතරන් වැඩ්ඩියක් වෙයි කියල :D .. ඒත් ඉතින් එහෙම වෙන්නෑනෙව ... ඔය අපේ ගෙදරත් තියෙන්නෙ අපෙ නෝන නොගහ පැත්තකට කරලම තිබුන හින්ද පුස්කාල කැඩිල ගිය වයලීනයක් :D ....කතාව අගෙයි.. මිහිරි මතක සුව දැනුනා

    ReplyDelete

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...