Friday, 25 March 2016

බලු කිරි රහ වෝල්ස් අයිස් ක්‍රීම්

අයිස් ක්‍රීම් කන්න ආස නැති පොඩි උන් ඉන්නවද මේ ලෝකේ. ඒක ආසාවකට වඩා පෙරේතකමක් කියලා කිව්වත් වැරදි නෑ.
එතකොට මට අවුරුදු 7 යි වයස, ස්කූල් වෑන් එකේ වැඩිහරියක්ම ගියේ බාලිකා පාසලක ඉගෙන ගන්න ළමයි ටිකක්, පිරිමි ළමයි නම් දෙන්නෙක් තුන්දෙනෙක් වගේ හිටියේ. ඉස්සර ඉස්කෝලේ ඉවර වෙන්නේ 2.00ට. ඉතින් වෑන් එකට හයියෙන් දුවන් එන්නේ ජනේලේ අයින අල්ලගන්න වුණත් ඒ වෙනකොට බාලිකා රැජිණ එතන අසුන්ගත වෙලා ඉවරයි. ඒ තමයි සුභානි. හැමදාම එයාටම මුලසුන දෙන්නේ කොහොමද? සුභානිව බය කරන්න හිතාගෙන මම එයා ළඟම හරි බරි ගැහිලා වාඩි වෙලා පොඩි නාට්‍යයක් රඟපෑවා..
'අන්කල්....! අනේ අන්කල්....' මම ඔලුව බදාගෙන කෑගැහැව්වා, වෑන් අන්කල් බයවෙලා 'මොකද මොකද ?' ඇහැව්වා... 
මමත් අමාරුවෙන් වගේ සුභානි පැත්තට බර වෙලා
'අන්කල් මට වමනේ දාන්න එනවා..අනේ අන්කල්...' කිව්වා.
සුභානිට ඒක.ඇහුනා විතරයි..
"ඊයා....."
කියාගෙන නැගිටලා ඉස්සරහට පැන්නා. ඒත් ඒක්කම අනිත් ළමයිනුත් බය වෙලා හිටියේ, එක පාරටම වෑන් අන්කල් කිව්වා ,
'පුතා ජනේලේ අයිනට යන්න... ජනේලේ අයිනට යන්න' කියලා . 
එතකොට දැනුන සතුට නම් ඉතින්....
මම සුභානි දිහා බලාගෙනම ජනේලේ අයිනට ගිහින් ඔලුව දාගත්තා එළියට. හුළං වැදි වැදී යන්න එයාට විතරක් දෙන්න බැහැනේ හැමදාම... අපිත් ඒ අයිතිය භුක්ති විඳින්න එපැයි. මම එහෙම හිතාගෙන කවුලුවෙන් මූණ එළියට දාගෙන සැනසීමේ එන අතරේ, වෑන් අංකල් හැම තිස්සෙම මම දිහා බල බල 'පුතා දැන් හොඳයි නේ ' කියලා අහනවා.
වෙලාවකට මට එහෙම අහන එකත් වදයක් වගේ වුණා. ඇයි එතකොට සුභානිත් බලනවානේ.... වැරදිලාවත් 'ඔව් අංකල් මට හොඳයි' කිව්වා නම් සුභානි ජනේලේ අයිනේ ඉල්ලන්නත් බැරි නෑ... ඒක නිසා මම කෝකටත් සීන් එකේම හිටියා.
හැමදාම වගේ වෑන් එක පන්සල ගාව තියෙන ස්කෝලේ ළඟ නතර කරන් ඉන්නවා විනාඩි 10 විතර, එතන ඉන්නවා අයිස් ක්‍රීම් වෙළෙන්ඳෙක්, සුභානි හැම්දාම ඔතනින් අයිස් ක්‍රීම් ගන්නවා, එයාගේ යාලුවන්ටත් එක්ක. හැබැයි කවදාවත් මට නම් අරන් දීලා නෑ.... සුභානිලා අයිස් ක්‍රීම් කන දිහා සුන්දරව බලන් ඉදලා කෙළ ගිලින්න නම් මම කවදාවත් අමතක කළේ නෑ. සුභානිගේ පවුලේ අය පෝසත් උදවිය... එයා ගියෙත් නගරේ උසස්ම බාලිකා පාසලකට... එක එක දවසට එක එක ජාතියේ අයිස් ක්‍රීම් වල රහ බලන්න සුභානිලාගේ ගැන්සිය අමතක කලේ නෑ. දවසක් එයාලා ගත්තා වෝල්ස් අයිස් ක්‍රීම්. ඒවා ටිකක් විතර ගණන් රුපියල් 15 ක් විතර වුණා, දැන් ඒක ඒ හැටි ගාණක් නොවුණට ඒ කාලේ අපේ වයසත් එක්ක රුපියල් 15 ක් කියන්නේ ටිකක් ලොකු ගාණක්. කොහොම හරි එදා එයාලා ගත්තේ වෝල්ස් මිල්ක් අයිස් ක්‍රීම්. නිල් පාටයි සුදු පාටයි කොළේ පොඩි කලුයි සුදුයි එළදෙනෙකුත් ඒකේ අැදලා තිබ්බා... තව පොඩි කිරි ගඟකුත් තිබ්බා... අයිස් ක්‍රීම් එක තනි සුදු පාටයි...
ඉතින් මට ඕකේ රහ මොන වගේද කියලා දැනගන්න ඕන වුණා ඒත් එකක් අරගන්න සල්ලි ළඟ නෑ .
'සුභානි ඔය වෝල්ස් මිල්ක් එක නේද?' මම හිනාවෙලා ඇහැව්වම එයා ඔරවලා කිව්වා 'ඔව් ඇයි? ' කියලා
'ඒක මොන රහද?'
'ඒක එලු රහද? නැත්නම් එළ රහද?'
ස්කෝලේ පාඩමක් ගැනවත් මම ටීචර් ගෙන් ඔහොම උවමනාවෙන් ප්‍රශ්න අහලා නැතිව ඇති....
ඔය අතර තුර සුභානියි එයාගේ යාලුවොයි අයිස් ක්‍රීම් එක මගේ දිහාවට දිහාවට දික් කරනවා... බොරුවට මට දෙන්න වගේ.... මම අත දික් කරලා ගන්න යනකොටම අහනවා...
'ඇයි කලුච්චි දැන් වමනේ දාන්න එන්නේ නැද්ද?'
මම ආයේ සීන් එකේම හිටියා... අයිස් ක්‍රීම් එකත් ඕනා... ජනේලේ අයිනත් ඕනා... තවම එයාලා අයිස් ක්‍රීම් එකේ රහ බලනවා... මම කෙළ ගිලිනවා...
'සුභානි ඕක මොන රහද? කිරි රහයිද?'
'පෙරේතී තියෙන පෙරේත කම... මේ අයිස් ක්‍රීම් එක බලු කිරි රහයි ... අහ් ඕනද කලුච්චි ?'
එහෙම කියාගෙන අයිස් ක්‍රීම් එක මගේ දිහාවට ආයේමත් දිග් කළා..
මම ටික වෙලාවක් බලන් හිටියා..
'නෑ එපා ඔයාම කන්න ඕක බලු කිරි රහයි නම් ඒක ගැළපෙන්නේ ඔයාටම තමයි, මට නෙවෙයි.'
මම නැවතත් ජනෙලෙන් එළිය බැලුවා... ගෙදර යනතුරු මම ඒ අයිස් ක්‍රීම් එකේ රහා මවාගන්නට උත්සාහ කෙරුවා... ඒත් ඒක එතරම්ම සාර්ථක දෙයක් වුනේ නෑ.
අවසානයේ මම ගෙදර ගිහින් වෝල්ස් අයිස් ක්‍රීම් එකක් ඉල්ලලා ගෙදර දෙවනත් කරන්න වුනා. පැය කීපයකට පස්සේ අරගලය ජයගත්තා...
මේ බලු කිරි රහ වෝල්ස් අයිස් ක්‍රීම් එකද?
අනේ ඒක නම් පුදුම රසක්...
තවමත් අමතක නෑ ඒ රස... මේ රහ බලන අතරේ මට සුභානි මතක් වුනා. මම මේ බලු කිරි රහ අයිස් ක්‍රීම් එක කනවා දැකීමට ඇයත් මෙතන සිටියා නම් කියා මට සිතුනා.
සුභානි ගේ ඇඹුල් කරගත්ත මූණ හිතේ මවාගෙන අන්තිම බිංඳුව දක්වාම රහ බැලුවා මම.... බලුකිරි රස වෝල්ස් අයිස් ක්‍රීම්...

-කලු මොණරි-

2 comments:

  1. :) :) suhaniwa hoya ganna barida

    ReplyDelete
  2. It was a fantastic answer from an innocent child to a big bad bully like your Van-mate "Subhani".

    Thank you very much for sharing this nice story with us.

    Stand up and speak up against bullying. ....where ever you are....

    ===Adrian Channa from Toronto===

    ReplyDelete

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...