Tuesday, 29 March 2016

ChaT B oX



හරි හතරැස් කොටුවකට 
හිර වෙලා අසීමීතව ගලා යනු හැකිද?
ගෝලයක් වගේ ලෝකයක ඉන්න අපි
හතරැස් කොටු අස්සේ ජිවිතේ හොයන්න පටන් අරන්
බලාපොරොත්තු පොදි ගහන්න පටන් අරන්
අයිතියක් නැති ජිවිතයක් අැතුළේ 
හරි හතරැස් කොටුවක් සින්නක්කරව පවරන්....

 -කලු මොණරි-

Monday, 28 March 2016

සුභානිගේ අම්මාගේ වයලීන වාදනය

ඒ තමයි ජිවිතේ සුන්දරම කාලය.
අපි හැමෝගෙම ජිවිත වල ලස්සණ ම කාලය. අපි හැමෝටම ඒ කාලේ තිබ්බ හීන එකම වගේ. එක වසරේ ඉන්නකොට අපිට දෙකේ පංතියට යනකම් ඉවසිල්ලක් තිබ්බේ නෑ. පැන්සලෙන් ලියන කාලය අහවර වෙලා පෑනෙන් ලියන කාලය එනකම් අපි හිටියේ නොඉවසිල්ලෙන්. මම හිතන්නේ අපේ වයසත් එක්කම අපේ හීන වල ප්‍රමාණය, දිග පළල, තීරණය වෙනවා. ඒ ඒ කාල වල අපේ සිතිවිලි එක්ක අපේ හීන වල ගුණාත්මක බවත් තීරණය වෙනවා කියලයි මට නම් හිතෙන්නේ.
කොහොම හරි අපි ඒ වෙනකොට තිබ්බ ලොකුම කඩඉම පහු කරන් හත වසරට ආවා කියන්නකෝ... ඒ වෙනකොට අපිට තිබ්බ ලොකුම දේ තමයි ශිෂ්‍යත්ව විභාගය කියන්නේ.
විභාගේ ලියලා ගෙදර ආවම අම්මා ගත් කටටම ඇහැව්වේ...
'විභාගේ ලේසි ද? පාස් වෙයි ද?'
ඉතින් මම ගත් කටටම කිව්වා...
'කෙසෙල් ගහට ඇන්නා වගේ ලේසියි අප්පා..  මාර ලේසි ප්‍රශ්න ටික'
මම අහගෙන අම්මා වටේ පිටේ අය එක්කත් කියනවා මම කෙහෙල් ගහට ඇන්නා වගේ විභාගේ ලේසියි කියපු කතාව.
ඇත්තටම විභාගේ ලේසි වැඩිකමටම ද කොහෙද මම කෙහෙල් ගස් උඩින්ම පාස් වෙලා තිබ්බා... සීයටත් අඩු ගාණක් අරන්. එදා ප්‍රථිපල ඇවිත් ගෙදර ආව දවසේ නම් කෙහෙල් ගස් උඩින් පනින්න හිතෙන තරමට අම්මගේ දෙහි කැපිල්ල නම් වෙනසක් නැතුව තිබ්බා...
ඊට පස්සේ කොච්චර විභාග ලේසි වුණත් මම කෙසෙල් ගස් ගැන නම් මතක් කළේවත් නෑ.
ඒ කාලේ අපිට සෞන්දර්ය විෂය තෝරගන්න තිබ්බේ හත වසරෙ දි...
වයලින් වලට තියෙන ආසාව නිසාම මම සංගීතය, පෙරදිග සංගීතය, තෝරගත්තා. ඒ වුනත් එතකොට මට වයලින් එකක් නම් තිබ්බේ නෑ. මියුසික් කරපු සමහර ළමයි ළඟ වයලින් තිබ්බා. වයලින් වාදනය නම් ඇත්තටම මට බෑ. මට ආසාව තිබ්බේ නම් වයලින් එකක් අතේ අරන් පද්ද පද්දා ස්කෝලේ එන්නයි.
මා එක්ක එකට බස් එකේ ගිය බාලිකා රැජිණක් හිටියා... එයා තමයි අර වෝල්ස් අයිස් ක්‍රීම් කතාවේ සුභානි. අපේ ස්කෝලෙට අල්ලපු ස්කෝලේ. ගෙවල් තිබ්බෙත් අපේ ගෙවල් කිට්ටුවමයි. එයා කළෙත් මියුසික්. ඉතින් එයා ළඟ නම් වයලින් එකක් තිබ්බා. ඕක සතියට දවස් දෙක තුනක්වත් සුභානි ස්කෝලේ ගෙනියනවා.
මටත් ඉන්න බැරුවට මම සුභානිගෙන් මෙහෙම ඇහැව්වා.

'සුභානි ඔයා ඔය වයලින් එක කීයකට ද ගත්තේ?'
'හ්ම්ම්ම් දන්නේ නෑ මෙයා... මේක තාත්ති ප්‍රසෙන්ට් එකකට දුන්නේ මම අහලා කියන්නම්. ඇයි ඔයා එකක් ගන්නද?'
'නෑ එකක් ගන්නත් ඕනා... ඒත් මේ අනිද්දට ස්කෝලේ මියුසික් මිස් කිව්වා වයලින් ප්ලේ කරන්න කැමති ළමයි ඉන්නවා නම් කියන්න මිස්  හවස අමතර පංතියක් කරනවා කියලා'
මම එහෙම බොරුවක් කිව්වේ කොහොමද? හරියට ඒක ඇත්තක්ම වගේ කිසිම ගාණක් නැතිව? මේ වයලින් එකක් උස්සන් යන්න තියෙන ආසාවට බොරු කියන්නේ... මට ලැජ්ජාවක් නැද්ද? මගේ හිත කෑගහනවා සුභානිට ඇසුණා නම් එයා හැමෝම ඉස්සරහා මාව අපහාසයට ලක් කරන්නත් ඉඩ තිබුණා.
'අහ් ඉතින් අම්මට කියලා ඔයත් එකක් ගන්නකෝ' සුභානි නොරිස්සුම් හඬින් කිව්වා.
මෙච්චර ලොකුකම් දාන කෙල්ලගෙන්ද උඹ ඕක ඔය ඉල්ලන්න හදන්නේ? මම මටම කියා ගත්තා. නමුත් වයලින් එකක් අතේ තියෙන වෙන යාළුවෝ මට සිටියේ නැහැ. අපේම ස්කෝලෙ කෙනෙක් ගෙන් ඉල්ලන්නත් බෑ.
'ඔව් එකක් ගන්නත් ඕනා... අම්මා කිව්වා මේ පාර මගේ උපන්දිනයට අරන් දෙනවා කියලා. ඒත් මේ මිස් කිව්වනේ හරියට ප්ලේ කරන අයව තෝරාගැනීමක් කරනවා කියලා. ඉතින් මේ අනිද්දා තෝරගන්න එකට තිබ්බොත් ඇති.. ඊට පස්සේ මම කොහොමත් හොඳ එකක් ගන්නවා...'
මම එක දිගට කියාගෙන ගියා. එයා කිසිවක් නොකියා පාරේ බසයක් එනතුරු බලාගෙන සිටියා.
'මේ ඔයාගේ එක ටිකක් දෙන්න බෑ නේ...හ්? මම අනිද්දට ආපහු දෙන්නම් ඔයාට'
මම ගාණක් නැතිව ඇහුවා.
'අනේ අම්මගෙන් ආ..හන්න ඕනා, එයාගෙන් අහලා හා කිව්වොත් දෙන්නම්'
සුභානිගේ ඔළුවේ ලොකුකමක් තිබ්බට එයාගේ හිත හොඳ බව මම පුංචි කාලයේ පටන් දන්නවා. කොහොම හරි ඒ උදේ කතාව එතනින් අවසන්...
ස්කෝලේ ඇරිලා ගණන් උපකාර පංතිය සඳහා පිටත් වුනා.
සුපුරුදු පරිදි  සුභානිගේ අම්මා දවල් කෑමත් අරගෙන පංතිය අසළට ඇවිත් ඉන්නවා මම දැක්කා. සුභානි එයා අහලට ගිහින් මොනවදෝ කියනවාත් මම දැක්කා. ඒ නම් නිසැකයෙන්ම මම වයලිනය ඉල්ලු බව කියා විශ්වාසයි. මොකද ඉන් පස්සේ සුභානි මට ඈත සිට අත වැනුවා. මම දෙපාරක් නොහිතා  එක පිම්මෙන්ම දිවගෙන ගියා එතැනට.
'පුතා වයලින් එක දෙන්නම් පරිස්සම් කරලා දෙන්න ඕනා තේරුණාද? '
පහුවදා උදේ සිතූ ලෙසම වයලීනය අතට ලැබුනා. මොකක්දෝ මහා අභිමානයක් වගේ එකක් සිතට දැනුනේ
පාසලට වයලින් එකත් අරගෙන පද්ද පද්දා ගියාම හැම එක්කෙනාම මාව වටකරගෙන...
'මේක අලුතෙන්ද?'
'කීයක් වුණාද?'
'පාවිච්චි කරපු එකක් වගේ..'
'ඔයාගෙමද? කාගෙන් හරි ඉල්ලගත්තද? '

මම මුකුත්ම නොකියා ඉන්නට වග බලාගත්තා.
එදා හවස පාසල නිමවී ගෙදර ගොස් සුදු ඇඳුම් මාරු කරන්නටත් පෙරම කරපු පලවැනි දේ වයලීනය හෙමින්ම අතට අර ගෙන පිරිමදින එකයි. ඉන්පස්සේ උරහිසට තියලා නිකටෙන් තද කරන් හැබෑවූ හීනය ගැන හිත හිතා ගේ පුරාම ඇහෙන්න, වා තලයට මුසු කළේ බෝ එකෙන් මැදෙන තත් අතරින් පිටවු එකිනෙකට නොගැලපෙන ස්වරයෙන් පැහැදිලි තාලයකුත් නැතුව වාදනය වූ වයලීන හඬයි.
'උඹ ඕක අනුන්ගෙන් නේද ඉල්ලන් ආවේ...? පුලුවන් නම් කඩපන්කෝ'
ඒ ආච්චි අම්මාය. ඇය වස් කීවොත් කීවාමය, සෙත් කීවොත් ඒත් එලෙසමය.
ඊලඟ විනාඩි කීපයේ දී ඇගේ වස් කවිය මට කිවූ ලෙසටම  වැදුනි.
හරියට ස්වර හදන්නට වයලීනයේ තත් සුසර කරන්නට යතුරු කැරකවූ විට ඕනෑවට වඩා තදවුනු තත් දෙකක් ඩීං ගාගෙන කැඩුණි. මහා අසරණ කමක් දැනුනි. වයලීනය නැවත යථා තත්වයට පත් කරන්නට නම් සෑහෙන මුදලක් වැය කල යුතු විය යුතුය. තාත්තා මෙය දැනගතහොත් අම්බානෙක ගුටි ලැබෙන බවද ස්ථිරය. ඊටත් වඩා සුභානිත් ඇගේ අම්මාත් මෙය දැනගත් විට ඔවුන්ගේ හැසීරිම කෙබඳු විය හැකි ද?
මට සුභානිටත් වඩා තදින්ම මතක් වන්නට වූයේ ඇගේ මවය. ඉන් පස්සේ තාත්තා ගේ වේවැල් පාරවල් ය.

'පුතා මේක පරිස්සම් කරලා දෙන්න ඕනා'
'උඹ පුලුවන් නම් කඩපන් කෝ ඕක'
මට ඒ කතාවල් මාරුවෙන් මාරුවට ඇසෙන්නට විය.....
මම වයලීනය ඒ පරිද්දෙන්ම නැවත පෙට්ටියට දමා වැසීමි. පහුවදා..... අපේ මියුසික් මිස් ගේ වයලින් වාදකයින් තෝරන දවසේත් ඉන් පහුවදාත් බොරු අසනීපයක්  ගෙන මම ගෙදර නැවතුනෙමි.
කතා කරගත් විදියටම ඊට පහුව දා වයලීනය ආපහු දෙන දවස උදා විය. අද සමහර විට මම පංති ආවේ නැති නිසා සුහානියි අම්මයි ගෙදර එන්නත් බැරි නෑ. මට එක එක දේවල් මතක් වෙන්නට විය.සියල්ලටම වඩා මෙය තාත්තාගෙන් සහ ආච්චිගෙන් වසන් කළ යුතුය. කෑමක් බීමක් නැතිව ලෙඩ මරගාතේ මෙන් ඔහේ ඇඳටම වී සිටියෙමි. අද තාත්තා ගෙදර නැතිය සිටින්නේ ආච්චි පමණි.
ගේට්ටුවට කවුදෝ තට්ටු කරනවා මෙන් ඇසුනි...
ඉවරය. ඉවරටම ඉවරය. ගින්න පටන් ගන්න මොහොතය. ආච්චිට කලින් මම ඉක්මන් වෙන්නට සිතුවත් එය එසේ සිදු නොවීය. ගේට්ටූව අසළ සිටියේ මා අනුමාන කළ පරිදිම සුභානිගේ අම්මාය. ඇය ආච්චි සමඟ මොනවාදෝ කතා කර ඉන්නවා ජනේලයේ රෙද්ද අතරින් මට පෙණුනි.

'දෝනී...දෝනී... මේ අර ළමයගේ වයලින් එක ගෙනියන්න ඇවිත්...  ඕකත් අරන් එනවද මේ ඇන්ටීට පරක්කු වෙනවලු'
එකත් එකටම සුභානි තවම පංතියේ වෙන්න ඇති? ඒකයි එයාලගේ අම්මා විතරක් ඇවිත් ඉන්නේ. කමක් නෑ ඇත්තම කියනවා... මොකක් කරන්න ද? මිනිස්සු අතින් නේ වැරදි වෙන්නේ? අනික මේක මම හිතලා කරපු වැඩක් නෙමෙයිනේ? ඒත් ප්‍රශ්නේ ඒක නෙවෙයි..  ඕක හදනවා නම් දහ පාලොස් දාහක් විතර වෙයිනේ... තාත්තාට ඒකට තරහා නොගිහින් තියෙයි ද? ඒකනේ ඉවසන්න බැරි...
'කෝ ළමයෝ එන්න ටක් ගාලා'
ආච්චි මට කතා කරනවා. ආයෙත් කතා කරන්නට පෙර මම එතැනතට හනික ගියෙමි. කරන්න දෙයක් නෑ කොහොම හරි කියන්නම වෙනවා.
'ඇන්ටී...  අනේ ඒක මගේ අතින් කැඩූනා, අනේ මට සමාවෙන්න. මම ඒක ඉක්මනට හදවලා දෙන්නම්, නැත්නම් අළුත් එකක් අරන් දෙන්නම්, අනේ ඇන්ටි මට සමාවෙන්න'
ගේට්ටුව ලඟට යන අතරතුර මම කියන්නට  වචන ගළපා ගන්න උත්සහ කළෙමි. වටපිටාවේ මහා මූසලකමක් පැතිර ගියාසේ මට දැනුනි. ඒත් කොහොමින් හරි අවසානයේ මම එය කියා දැමුවෙමි.
'ඇන්ටී...  අනේ ඒක මගේ අතින් කැඩූනා, අනේ මට සමාවෙන්න. මම ඒක ඉක්මනට හදවලා දෙන්නම්, නැත්නම් අළුත් එකක් අරන් දෙන්නම්, අනේ ඇන්ටි මට සමාවෙන්න'
මම එක හුස්මටම කිවෙමි.
ඇගේ ඇස් ජිල් බෝල දෙකක් මෙන් ලොකු විය.. රවුම් විය... හිතු ලෙසම ඇය මහා හයියෙන් කෑ ගසන්නට විය. මහා අපරාධයක් සිදුවුනා සේ ඇය මට චෝදනා කරන්නට විය.
ආච්චි කිසිත් නොකියා බලාගෙන සිටියාය. වයලීනයක තත් දෙකකට ‍කෙතරම් වචන එළියට ගන්නට පුළුවන් ද? එක අතකට ඇයගේ කෝපය සාධාරණය. මම මීට වඩා සැළකිලිමත් විය යුතුව තිබුණා. දැන් ඉතින් කරන්නට දෙයක් නැත. සියල්ල සිදු වී හමාරය. එක දිගට... එක දිගට... ඇගේ මුවින් වාදනය වූ  බැනුම් තොගය විනාඩි දහයක් පමණ ගලා ගියේය. අවසානයේ දී වයලීනය යළි යථා තත්වයට හරි ගස්සා ගෙනවිත් දෙන්නට ආච්චි පොරොන් දු වුවාය.
එදා මුලු රෑම මට නින්දක් නම් නොවීය...  ආච්චිද කිසිම කතාවක් නැත. වයලීනයද කිසිවක් නොවුනා සේ මාගේ පොත් මේසය මතය. තාත්තා මෙය දැනගත් පසු ගන්නා පියවර ගැන වේවැල් පාරවලට වඩා පැහැදිලි අදහසක් මට තිබුණේ නැත. නමුත් හිතට ශක්තිය ගෙන නින්ද ගියා වාගේ ඇස් තද කරගෙනම සිටියෙමි. තාත්තාගේ බයික් එකේ සද්දයට හිත ගැස්සිලා ගිය මුත්, කාමරයෙන් පිටතට නෑවිත් ඇඳ මතම දිගාවී නිදි සේ සිටියෙමි.
තාත්තා ගෙට ගොඩ වෙනවාත් සමඟම ආච්චි හවස සිදුවීම එක දෙක කර කියන්නට වූවාය. සිවිලිමේ විදුලි පංකාවට වඩා  වෙගයෙන් මගේ හිත බ්‍රමණය වන්නට විය. තාත්තා කිසිවක් නොකියාම කෑම කා වෙනදටත් වඩා කලින් නින් දට ගියේය. නමුත් හෙට දිනයේදි ඔහුගේ දඬුවම ලැ‍බෙන බව නම් නොඅනුමානය.වයලීනය දිහා බලාගෙනම එදා රෑ මට නින්ද ගොස් තිබුණි.

පහුවදා සෙනසුරාදා දවසක් නිසා ඇහැරෙන විට උදේ  8ත් පසු වී තිබුණි. මේසය උඩ වයලීනය තිබ්බේ නැත.
මගේ හිත කුතුහලයෙන් පිරිණි. වයලීනයට කුමක් සිදු වුනිද? සුභානි ඇවිත් රැගෙන ගියාවත්ද? එය නැවත හදන්නට නම් සැහෙන මුදලක් වැයවෙන නිසා තාත්තා හිත් තැවුලෙන් සිටිනවා වත්ද? එකින් එක ප්‍රශ්න වැලක් මගේ හිතේ පෙළ ගැහෙන්නට විය. මේ දේවල් ආච්චිගෙන් ද ඇසිය නොහැක. ඊයේ සිදුවීම නිසා ඇය මා හා තවමත් අමනාපයෙනි. ටික වෙලාවකට පසු තාත්තා ආවේය, ඒ වයලීනයද අතැතිවය. ඔහු එය මා වෙතට දික් කලේය.
'ආ මෙන්න, අනිත් දවසේ අනුන් ගේ බඩු මෙහේ ගේන්න බෑ තේරුණා ද?'
ඔහු ස්ථිරසාර ස්වරයකින් කීවේය. මම වහා වයලීනය අතට ගෙන බැලුවෙමි. එය ගෙනෙද්දී තිබුණා සේම දකින්නට ලැබීමෙන් මගේ පුංචි සිත ප්‍රීතියෙන් ඉපිල ගිය හැටි කවදාවත් අමතක නොවෙයි. කොච්චර ගාණක් ගියාද දන්නේ නෑ? මම හිතින් ප්‍රශ්න කලෙමි.
'තාත්තේ කීයක් ගියාද මේක හදන්න?'
‍'ඇයි මොකටද?'
'නෑ මේ නිකමට ඇහු‍වෙ'
'තුන්සිය පණහක් ගියා. ඕක දැන්ම ඒ ළමයට  දෙනවා'
මොකක් තුන්සිය පණහක්? රුපියල් තුන්සිය පණහක් ද මේක හදන්න ගියේ? තුන්සිය පණහක් ද?
ආයේ නම් වයලින් එකක තියා මොන භාණ්ඩයක වත් තත් වලට නම් අතවත් තියන්නේ නෑ...!
තුන්සිය පණහක් වුණත් අහන්න වෙන බැනුම් කෝටිය....

මම හිනාවෙන ගමන් සුභානිලා ගෙදරට දිව්වෙමි.



Friday, 25 March 2016

බලු කිරි රහ වෝල්ස් අයිස් ක්‍රීම්

අයිස් ක්‍රීම් කන්න ආස නැති පොඩි උන් ඉන්නවද මේ ලෝකේ. ඒක ආසාවකට වඩා පෙරේතකමක් කියලා කිව්වත් වැරදි නෑ.
එතකොට මට අවුරුදු 7 යි වයස, ස්කූල් වෑන් එකේ වැඩිහරියක්ම ගියේ බාලිකා පාසලක ඉගෙන ගන්න ළමයි ටිකක්, පිරිමි ළමයි නම් දෙන්නෙක් තුන්දෙනෙක් වගේ හිටියේ. ඉස්සර ඉස්කෝලේ ඉවර වෙන්නේ 2.00ට. ඉතින් වෑන් එකට හයියෙන් දුවන් එන්නේ ජනේලේ අයින අල්ලගන්න වුණත් ඒ වෙනකොට බාලිකා රැජිණ එතන අසුන්ගත වෙලා ඉවරයි. ඒ තමයි සුභානි. හැමදාම එයාටම මුලසුන දෙන්නේ කොහොමද? සුභානිව බය කරන්න හිතාගෙන මම එයා ළඟම හරි බරි ගැහිලා වාඩි වෙලා පොඩි නාට්‍යයක් රඟපෑවා..
'අන්කල්....! අනේ අන්කල්....' මම ඔලුව බදාගෙන කෑගැහැව්වා, වෑන් අන්කල් බයවෙලා 'මොකද මොකද ?' ඇහැව්වා... 
මමත් අමාරුවෙන් වගේ සුභානි පැත්තට බර වෙලා
'අන්කල් මට වමනේ දාන්න එනවා..අනේ අන්කල්...' කිව්වා.
සුභානිට ඒක.ඇහුනා විතරයි..
"ඊයා....."
කියාගෙන නැගිටලා ඉස්සරහට පැන්නා. ඒත් ඒක්කම අනිත් ළමයිනුත් බය වෙලා හිටියේ, එක පාරටම වෑන් අන්කල් කිව්වා ,
'පුතා ජනේලේ අයිනට යන්න... ජනේලේ අයිනට යන්න' කියලා . 
එතකොට දැනුන සතුට නම් ඉතින්....
මම සුභානි දිහා බලාගෙනම ජනේලේ අයිනට ගිහින් ඔලුව දාගත්තා එළියට. හුළං වැදි වැදී යන්න එයාට විතරක් දෙන්න බැහැනේ හැමදාම... අපිත් ඒ අයිතිය භුක්ති විඳින්න එපැයි. මම එහෙම හිතාගෙන කවුලුවෙන් මූණ එළියට දාගෙන සැනසීමේ එන අතරේ, වෑන් අංකල් හැම තිස්සෙම මම දිහා බල බල 'පුතා දැන් හොඳයි නේ ' කියලා අහනවා.
වෙලාවකට මට එහෙම අහන එකත් වදයක් වගේ වුණා. ඇයි එතකොට සුභානිත් බලනවානේ.... වැරදිලාවත් 'ඔව් අංකල් මට හොඳයි' කිව්වා නම් සුභානි ජනේලේ අයිනේ ඉල්ලන්නත් බැරි නෑ... ඒක නිසා මම කෝකටත් සීන් එකේම හිටියා.
හැමදාම වගේ වෑන් එක පන්සල ගාව තියෙන ස්කෝලේ ළඟ නතර කරන් ඉන්නවා විනාඩි 10 විතර, එතන ඉන්නවා අයිස් ක්‍රීම් වෙළෙන්ඳෙක්, සුභානි හැම්දාම ඔතනින් අයිස් ක්‍රීම් ගන්නවා, එයාගේ යාලුවන්ටත් එක්ක. හැබැයි කවදාවත් මට නම් අරන් දීලා නෑ.... සුභානිලා අයිස් ක්‍රීම් කන දිහා සුන්දරව බලන් ඉදලා කෙළ ගිලින්න නම් මම කවදාවත් අමතක කළේ නෑ. සුභානිගේ පවුලේ අය පෝසත් උදවිය... එයා ගියෙත් නගරේ උසස්ම බාලිකා පාසලකට... එක එක දවසට එක එක ජාතියේ අයිස් ක්‍රීම් වල රහ බලන්න සුභානිලාගේ ගැන්සිය අමතක කලේ නෑ. දවසක් එයාලා ගත්තා වෝල්ස් අයිස් ක්‍රීම්. ඒවා ටිකක් විතර ගණන් රුපියල් 15 ක් විතර වුණා, දැන් ඒක ඒ හැටි ගාණක් නොවුණට ඒ කාලේ අපේ වයසත් එක්ක රුපියල් 15 ක් කියන්නේ ටිකක් ලොකු ගාණක්. කොහොම හරි එදා එයාලා ගත්තේ වෝල්ස් මිල්ක් අයිස් ක්‍රීම්. නිල් පාටයි සුදු පාටයි කොළේ පොඩි කලුයි සුදුයි එළදෙනෙකුත් ඒකේ අැදලා තිබ්බා... තව පොඩි කිරි ගඟකුත් තිබ්බා... අයිස් ක්‍රීම් එක තනි සුදු පාටයි...
ඉතින් මට ඕකේ රහ මොන වගේද කියලා දැනගන්න ඕන වුණා ඒත් එකක් අරගන්න සල්ලි ළඟ නෑ .
'සුභානි ඔය වෝල්ස් මිල්ක් එක නේද?' මම හිනාවෙලා ඇහැව්වම එයා ඔරවලා කිව්වා 'ඔව් ඇයි? ' කියලා
'ඒක මොන රහද?'
'ඒක එලු රහද? නැත්නම් එළ රහද?'
ස්කෝලේ පාඩමක් ගැනවත් මම ටීචර් ගෙන් ඔහොම උවමනාවෙන් ප්‍රශ්න අහලා නැතිව ඇති....
ඔය අතර තුර සුභානියි එයාගේ යාලුවොයි අයිස් ක්‍රීම් එක මගේ දිහාවට දිහාවට දික් කරනවා... බොරුවට මට දෙන්න වගේ.... මම අත දික් කරලා ගන්න යනකොටම අහනවා...
'ඇයි කලුච්චි දැන් වමනේ දාන්න එන්නේ නැද්ද?'
මම ආයේ සීන් එකේම හිටියා... අයිස් ක්‍රීම් එකත් ඕනා... ජනේලේ අයිනත් ඕනා... තවම එයාලා අයිස් ක්‍රීම් එකේ රහ බලනවා... මම කෙළ ගිලිනවා...
'සුභානි ඕක මොන රහද? කිරි රහයිද?'
'පෙරේතී තියෙන පෙරේත කම... මේ අයිස් ක්‍රීම් එක බලු කිරි රහයි ... අහ් ඕනද කලුච්චි ?'
එහෙම කියාගෙන අයිස් ක්‍රීම් එක මගේ දිහාවට ආයේමත් දිග් කළා..
මම ටික වෙලාවක් බලන් හිටියා..
'නෑ එපා ඔයාම කන්න ඕක බලු කිරි රහයි නම් ඒක ගැළපෙන්නේ ඔයාටම තමයි, මට නෙවෙයි.'
මම නැවතත් ජනෙලෙන් එළිය බැලුවා... ගෙදර යනතුරු මම ඒ අයිස් ක්‍රීම් එකේ රහා මවාගන්නට උත්සාහ කෙරුවා... ඒත් ඒක එතරම්ම සාර්ථක දෙයක් වුනේ නෑ.
අවසානයේ මම ගෙදර ගිහින් වෝල්ස් අයිස් ක්‍රීම් එකක් ඉල්ලලා ගෙදර දෙවනත් කරන්න වුනා. පැය කීපයකට පස්සේ අරගලය ජයගත්තා...
මේ බලු කිරි රහ වෝල්ස් අයිස් ක්‍රීම් එකද?
අනේ ඒක නම් පුදුම රසක්...
තවමත් අමතක නෑ ඒ රස... මේ රහ බලන අතරේ මට සුභානි මතක් වුනා. මම මේ බලු කිරි රහ අයිස් ක්‍රීම් එක කනවා දැකීමට ඇයත් මෙතන සිටියා නම් කියා මට සිතුනා.
සුභානි ගේ ඇඹුල් කරගත්ත මූණ හිතේ මවාගෙන අන්තිම බිංඳුව දක්වාම රහ බැලුවා මම.... බලුකිරි රස වෝල්ස් අයිස් ක්‍රීම්...

-කලු මොණරි-

Tuesday, 22 March 2016

ගෑණු මිනිස්සු

සංයමයෙන් යුතු ගැහැණියක් තමන් තුළ
ගොඩනැගෙන්නේවත්
ආවේගශීලීව පිරිමින් මෙලොව පවතින්නේවත් නැත....
සියල්ල අභිරහසක් වූ කළ
ගැහැණියද මිනිසාද
හුදෙක් අභිරහස්ම වන්නෝය.
එය අනාවරණය කරගැනීම
එක්තරා විදිහක සාපරාධි ක්‍රියාවකි.
ජෛව විද්‍යාත්මකව
ගැහැණිය සහ පිරිමියා
භෞතිකව වෙනස් වූවද
මනෝ විද්‍යාත්මකව
ඔවුනොවුන් සමාන වන්නෝය.

-කලු මොණරි-

Friday, 11 March 2016

කොළඹට වැස්ස


'කොළඹට කවදද 
හෙමින් වැස්සක් වැස්සේ.............
කොළඹට කවදද 
ළාවට අව්වක් පෑව්වේ........
කොළඹ අහස කවදද 
ළාවට අඳුරු වුණේ........
කොළඹ හරිම නපුරු 
ඒ නිසා වෙන්න ඕනා........'

-කලු මොණරි-

Friday, 4 March 2016

සුවඳ

'සුවඳ සලන සුවඳ කුසුම්
රාත්‍රියට රැඟුම් මවයි
සිහිල උනන සඳ මඩලට
පෙම් කෝලම් උතුරා යයි
රැහැයියන්ගෙ හඬ සවනට
වස් දඬු රා මිහිර සදයි.....
ගී කියන්න බැරි බකුසුන්
බුම්මාගෙන බලා හිඳියි
ගලන දියේ රිද්මෙට මම්
නුඹෙ ළමැදේ රටා අඳියි
උතුරා යන පෙම් මදිරා
දෙතොලට රස ගෙන වෑහෙයි
අත්තටු ලැබ දෑඟිලි නුඹෙ
ගත පුරාම ඉගිලී යයි
රාත්‍රියට ඇස් නැති බැව්
සිත රහසේ මුකුලු කරයි...
සුවඳ සොයමි මල් කෙමි වල
මල් පොකුරක් තුරුලු කරන්...........'

-කලු මොණරි-


Thursday, 3 March 2016

මල්

මල්

නිල් පාට අහසමත
සුදු පාට වියන් අැත
ගිනි ගහන මිහිමතට 
සෙවන සලසනු බැරිය

ලෝකයම වට කර
මහා සයුර හිනැහුනද
ජිවිතය සනහාලන්න
දිය බිඳකට නොහැකි විය

ඉරි තැලුනු කතරකට
පාට මල් කුමකටද
සෙවන සලසාලන්න
කොළ පාට ගස් නැතිව

-කලු මොණරි-

Wednesday, 2 March 2016

මිනිස්සු ...!

'කොච්චර වැස්සත් සමහරු කියනවා පට්ට රස්නෙයි කියලා... 
ඒ උන්ගේ හිත අස්සේ ගින්දර තියෙන නිසා.... 
පිච්චිලා යන තරමට පායද්දි සමහරු කියනවා මාර COOL කියලා....
ඒ නැව ගිලුනත් බෑන් චූන් කියලා හිතෙන සෙට් එක නිසා...
ඒත් එක්කම.., 
පෑව්වත් රස්නයක් දැනෙන්නෙත් නැති... 
වැස්සටත් සීතලක් දැනෙන්නේ නැති... 
ගන්ධබ්බයොත් නැතුවම නෙවෙයි.........
මිනිස්සු හරි වෙනස් කියන්නේ අන්න ඒ නිසයි...
මිනිස්සු හරි අමුතුයි කියන්නේ අන්න ඒක නිසයි.....'

-කලු මොණරි-

Tuesday, 1 March 2016

පරිච්ඡේද

'ජිවිතේ ගෙවෙන හැම මොහොතක්ම.., හැම දවසක්ම අපේ මේ ජිවිතේ අලුත් පරිච්ඡේදයක්...මොහොතින් මොහොත අපේ මේ ජිවිතය ගෙවෙනවා...ඒ වගේම තත්පරයෙන් තත්පරය අපේ මේ ජිවිතය අලුත් වෙනවා...සමහර දේවල් එකතු වෙනවා.., සමහර දේවල් අයින් වෙලා යනවා..සමහර දේවල් අයින් කරන්න වෙනවා... මේ මොනවා වුනත් ජිවිතය ගෙවෙනවා...හැම මොහොතකම අලුත් සිතුවිල්ලක්.., අලුත් පැවැත්මක්.... මේ හැම දෙයක්ම ජිවිතයට ජිවත් වෙන්න පාර කියලා දෙනවා.. ගෙවෙන හැම මොහොතකම අපේ ජිවිතයට අලුත් බැඳිමක් එකතු වෙනවා.. සමහර වෙලාවට ඒ බැඳීම් අපිට හොඳ හෝ නරක පාඩම් කියලා දෙනවා.. අපේ ජිවිත වල හැරවුම් ලක්ෂ්‍යය වෙනවා...
මේ කොහොම වුනත් අපි අපේමයි කියලා බැඳලා හිරකරලා තියාගන්න හදන සමහර බැඳිම් තාවකාලිකයි... මොකද අපි එහෙම අයිති කරගන්න හදන්නේ අහම්බෙන් ජිවිතයට කඩා පාත් වෙන බැඳිම් නිසා අන්න ඒ නිසයි ඒ බැඳිම් තාවකාලික වෙන්නේ....නමුත් යථාර්තය නිවැරදිව විමසලා.., බැඳිමක් වුනත්.., බැඳිමකින් තොරව පවත්වාගෙන යන්න පුළුවන් වුනා නම්..., අන්න ඒක තමයි අහම්බෙන් වුනත් අපි අපේ ජිවිතේට ළඟා කරගන්න සැබෑම හැරවුම් ලක්ෂ්‍ය‍ය වෙන්නේ.....'

-කලු මොණරි-

ටයිටැනික්...!

'මුහුදුබත් වුණු නැවකට පුලුවන්ද,
මිනිහෙක්ට ජිවිතේ දිනන්න රුකුලක් දෙන්න...?

ටයිටැනික්...!
ඔව් ඒ නැව ගිලුණා...
ඒත් ජැක් ඒ නැවෙන් තමන්ගේ ලෝකය හොයාගත්තා....'

ඒ තමයි මේ ඉන්නේ.... ඩිකැප්‍රියෝ....!
ලියනාඩෝ ඩිකැප්‍රියෝ'

ජිවිතය තීරණය කරන සමාජ සිස්ටම් එක

ලංකාවේ එක එක විදියේ සිස්ටම් තියෙනවා, ඒ හැම සිස්ටම් එකකටම අපිට අනුගත වෙන්න බැ තමයි, ඒත් සමහර නියම කරලා තියෙන දේවල් මඟ අැරලා යන්නත් බෑ. අපේ ජිවිතේ සමහර දේවල් අපිම තීරණය කරනවා කියලා හිතුවට සමහර දේවල් තීරණය කරන්නේ අර මම මුලින් කිව්ව අපිට මඟ අැරලා යන්න බැරි සිස්ටම්.

සමහර වෙලාවට තරුණ ගෑණූ ළමයෙකුගේ අනාගතය තීරණය වෙන්නේ ඒ ගෑණූ ළමයගේ කන්‍යාභාවය මත, පිරිමියෙක් ගේ ජිවිතේ තීරණය වෙන්නේ තමන් කරන රස්සාව මත. මේ මේ සමහර කරුණූ කාරණා එක්ක ජිවිතේ සමහර දේවල් අපිට තීරණය කරන අමාරුයි. මොකද අපි හිතන්නත් කලින්ම අපි කරන්න ඕන මොනවද නොකරන්න ඕන මොනවද කියලා සේරම ඒ සිස්ටම් තීරණය කරලා හමාරයි.

කෙල්ලෙක් වුනම ඉන්න ඕන විදිය, කොල්ලෙක් වුනාම ඉන්න ඕන විදිය, කසාදෙන් පස්සේ ඉන්න විදිය, කරන්න ඕන දේවල් ඔය සේරම ඒ සිස්ටම් එකම තීරණය කරනවා.
හැමෝම හැම දේටම දක්‍ෂ නෑ.... ඒත් අපේ එක්සෑම් සිස්ටම් එක අපිට දිලා තියෙන නියමයන් තියෙනවා...
එකක් ගණන් ෆේල් වුනොත් ඉස්සරහට යන්න අමාරුයි කියන එක. ඒක තමන් ගේ අනාගතය ගැන දෙන වෝර්නින් එකක් වගේ, බොහොම සුලු පිරිසක් තමයි උත්සහය අතනෑර ආයේ ආයේ කරලා එක්සෑම් ගොඩ දාගන්නේ.
ඒලෙවෙල් කරලා කැම්පස් යන්න ආස එකෙක් තමයි එහෙමත් කරන්නේ...

හරි මඟපෙන්වීමක් ලැබුනොත් එක්සෑම් නෙවෙයි ජිවිතෙම කියලා එයාලට තේරේවි.

සමහර වෙලාවට ලංකාව කියන්නේ කලු මිනිස්සුන් ගේ රටක් වුනත් සමහරුන් ගේ පාට මත හැමදේම තීරණය වෙන වෙලාවල් තියෙනවා. දෛවය කියලා දෙයක් නෑ, මේ ජිවිතෙන් භාගයක්ම තීරණය කරන්නේ ඔය සමාජයේ නියම වෙලා තියෙන සිස්ටම්... එතකොට සිස්ටම් එක වෙනස් කරන්න කියලා කෑ ගහන සේරම පිස්සෝ පිහාට්ටෝ විදියට හංවඩු ගහන එක තමයි සිස්ටම් එක වෙලා තියෙන්නේ... ඉතින් තව අවුරුදු 100ක් ගියත් මේ සිස්ටම් එක වෙනස් කරනවා බොරු...

මේ හැමදේම නෙවෙයි තමයි කිව්වේ, එකක් දෙකක් ගැන එහෙන් මෙහෙන් අහන්න දකින්න ලැබෙන දේවල් කීපයක් තමයි ඔය කිව්වේ...


තව බරපතළ විදියට ජිවිතේ ගොඩාක් දේවල් අපේ සමාජයේ සිස්ටම් එක තීරණය කරනවා..


එහෙමයි කියලා බීලා පාරේ වාහන එළවන්න හොඳයි කියලා මම කියන්නේ නෑ... සමහර වෙලාවට අපිට අපේ ජිවිතයේ සුගතිය වෙනුවෙන් වාරණ දාගන්න බැරි වුණාම නීතීයක් කියලා දෙයක් තියෙනවනේ, අන්න ඒ නීතියෙන් අපිට කළ යුතුමයි කියන වාරණය දානවා. ඒකත් සිස්ටම් එකේ මූලිකම දෙයක් තමයි, ඒ්ත් ඒ වගේ දේකට අපි හිස නවන්න ඕනා, හැබැයි සිස්ටම් එකේදි හැමෝටම සමානාත්මතාවයක් තියෙන්න ඕනා....

මේ අසධාරණ සිස්ටම් එක සල්ලි බලපුලුවන්කාරකම් තියෙන උන්ට නම් වැඩක් අැත්තෙම නෑ, හැබැයි නැති එකාට නෑම තමයි, එතකොට ජිවිතේ හිස් ටින් එකක් වගේ තමයි මල්ලි....

ඉතින් අවුල තියෙන්නේ මේ සිස්ටම් එකේ තමයි, හැබැයි අපිට කරන්න බැරි දෙයක් නෑ, මොකද ඔය සිස්ටම් එක හදන්නෙත් අපි, ඒකට බනින්නෙත් අපි, ඒකෙන් පීඩා විඳින්නෙත් අපි, එහෙම නම් ඒක නැති කරන්න ඕනෙත් අපිම තමයි....


ඒත් තවම අපිට ඒක කරන්න පුලුවන් වෙනමම සිස්ටම්ම් එකක් හැදිලා නැති එක තමයි අවුල. ඉතින් මේ සිස්ටම් එක මට නම් බර වැඩියි වෙලාවකට.....


-කලු මොණරි-




බලාපොරොත්තු සහ ජිවිතය

'මිනිස්සුන්ට ජිවත් වෙන්න තියෙන්න ඕනා මූලිකම කාරණා කියලා අපි ස්කෝලේ යන කාලේ ඉගෙන ගන්නේ ආහාර,නිවාස,ජලය,සහ අැඳුම් පැළඳුම් ගැන. ඒත් ජිවත් වෙන්න උවමනා ඒ දේවල් වලට වඩා අපිට ජිවත් වෙන්න ඕනම කරුණූ ගැන අපි ගිය ස්කෝලේ පොත් පත් වල තිබ්බේ නැ තමයි. ඒත් ඉබේම අපිව පුහුණූවකින් තොරවම අපි තවත් දේකට පුරුදු වුණා. ඒ තමයි ජිවත් වෙන්න අපිට බලාපොරොත්තු ඕනා කියන දේ..
කවුරු හරි කෙනෙක් කියනවා නම් මට මගේ ජිවිතේ ගැන බලාපොරොත්තුවක් නෑ කියලා ඒක විහිලුවක්.
ජිවත් වෙනවා කියන්නෙත් බලාපොරොත්තුවක්....!
සිය දිවි හානි කරගන්න හදන මනුස්සයෙකුට පවා අන්තිම මොහොතේදි ඕන කරන්නේ ජිවත් වෙන්න බලාපොරොත්තුවක්...!
මට මතකයි අපේ ගෙවල් පැත්තේ අන්කල් කෙනෙක් ණය ප්‍රශ්න නිසා වහ බීලා ජිවිතේ නිස්කාරණේ නැති කරගත්තා.ඒත් ඒ මනුස්සයාව ඉස්පිරිතාලේ ගෙනියනකොට අහලා තියෙන්නේ කට්ටියගෙන් 'අනේ මාව මැරෙයිද ?' කියලා.එහෙම අහන්න හේතුව වුණේ ජිවත් වෙන බලාපොරොත්තුව ඒ පුද්ගයා ළඟ තිබුණ නිසා.
බලාපොරොත්තු කියන්නේ අපිව ජිවත් කරවන දෙයක්, ඒක අපිට ඕන විදියට හදාගන්න පුලුවන්, හැබැයි තව කෙනෙක්ට ඕන විදියට කඩලා දාන්නත් පුලුවන්. ඒත් අපිට ආයේමත් අපිට ඕන විදියට හදාගන්න පුලුවන්. 
ඒවා තරු වගේ තමයි කඩන් වැටෙනවා. 
ඒත් ජිවිතේ කියන්නේ අහසක්....! 
තව කොච්චර නම් තරු දිළෙනවද ඒ අහසේ..අැයි අපි කඩන් වැටෙන එක තරුවක් දෙකක් ගැන ළතැවෙන්නේ.?
ආදරය සෙනෙහස කියන්නෙත් අපිට ජිවිතයට ලැබෙන බලාපොරොත්තු....
ඒවා නැති වුණා කියලා එතැනින් හැම දේම ඉවර වෙන්නේ නෑ. 
බලාපොරොත්තු කියන්නේ අපිට ජිවිතේ නැතිවම බැරි දෙයක්.. මාව ජිවත් කරවන බලාපොරොත්තුව නොවෙන්න පුලුවන් නුඹව ජිවත් කරවන්නේ, එ්වා එකිනෙකට වෙනස් වෙන්න පුලුවන්....
ඒ කොහොම වුණත් ජිවිතේ ඉවර වෙන්නේ කොතැනද අන්න ඒ අවසාන තත්පරයත් අපිට බලාපොරොත්තුවකට මඟ හදනවා..
ඉතින් අපි නියං කාලෙට ළිං හිඳුනම බොන්න වතුර නෑ කියලා අඬන්න ඕනේ නෑ. පාරේ ටැප් එකෙන් හරි වතුර බොන්න පුලුවන් නේ...වහින කාලේට ළිඳ පිරිලා වතුර පිරේවි..
අන්න ඒ වගේ තමයි බලාපොරොත්තු අපේ ජිවිතේට එන්නෙත්...
බලාපොරොත්තු ප්‍රබල වෙන තරමටම සැලසුම් කරන තරමට අපේ අරමුණූ අපි ළඟටම එන එක කාටද නතර කරන්න පුලුවන්?
කාටවත්ම බෑ.....

-කලු මොණරි-




ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...