Monday, 9 January 2017

ගණන් නැති කතන්දරයක් ....



දිග හෑලි කියවන්න අකැමති අය නොබලා ගියාට කමක් නෑ...හැබැයි පොඩ්ඩක් හරි කැමති නම් කියවලා යන්න...

මේ ලෝකේ එක එක කතන්දර තියෙනවා. ඒ එක එක කතන්දර වලිනුත් එකම එක පුංචි කතාවක් මම කියන්න හිතුවේ මේ ‘ඒ’ ලෙවල් රිසාල්ට් එක ගැන එක එක කතා හැම තැනම එක එක විදියට තියෙන නිසා.

 මීට හරියටම අවුරුදු එකොළහකට කලින් එක ගෑණු ළමයෙක් තමන් ගේ ජිවිතේ වැදගත්ම විභාගයකට මුහුණ දෙනවා. ඒ තමයි ‘ඕ’ ලෙවල් එක්සෑම් එක​. ඉගෙන ගන්න ළමයෙක්ට වියදම් කරන්න ඕනේ මොන විදියටද ඒ උපරිම විදියට ගෑණු ළමයට ඒ ගෙදර මිනිස්සු වියදම් කරලා ඉගැන්නුවා. ඉතින් ඒ වෙනකොට ඒ ගෑණූ ළමයා තමන් ගේ අම්මගේ තාත්තාගේ සහ එයාගේ ආච්චිගේ බලාපොරොත්තුත් එකට ගුලි කරගෙන එක්‍සෑම් ලියනවා. අමාරුම සහ නීරසම විෂය වෙන ගණන් පේපර් එකත් එක්ක හෙන ගේමක් දෙන්නේ….

 හරියටම පීනන්නවත්, හබල් ගහන්නවත් දන්නේ නැති, රුවලක්වත් නැති ඔරුවක් උඩට වෙලා මහා මුහුද මැද්දේ පාවෙන මිනිහෙක් ගැන හිතන්නකෝ….  අන්න ඒ වගේ.

 ගණන් කියන්නේ කොච්චර එපාම කරපු විෂයයක් ද කිව්වොත් ගණන් නෙවෙයි ජිවිතේ කියලා හිත හදාගෙන ඒ ගෑණු ළමයා එක්සෑම් ලිව්වා.

 හරි හරි මම කෙටියෙන්ම කියලා ඉවර කරන්නම්.. ‘ඕ’ ලෙවල් ඉවර වුණ ගමන් මේ ළමයගේ අම්මා එයාගේ තවත් හීනයකට අත්වාරුවක් දෙන්න ඕන කියලා හිතලා මාස 8ක කාලයක් සතියකට එක දවසක් එයාව උදේ ඉඳන් හවස් වෙනතුරු පැවැත්වුනු කටහඬ පුහුණු පාඨමාලාවකට එක්කගෙන ගියා…. ඔය අතරේ ‘ඕ’ ලෙවල් රිසාල්ට් එනවා…. අකුණක් පුපුරනවා වගේ දැනුනේ ගණන් ගැන…!!  ඒ ළමයට ඒක නම් පොඩ්ඩක්වත් ශුවර් එකක් තිබ්බේ නැති නිසා.එහෙම වුණෝත් අම්මට මොනවද කියන්නේ කියලයි ඒ ගෑණූ ළමයා හිතුවේ…

 හිතුවා වගේම අති සාර්ථක විදියට හිතපු දේ ඉටුවෙලා තිබ්බා..තවත් විෂයයන් දෙකක් සමඟ මහා ඉහලින් ගණන්  ෆේල් වෙලා…. ඒ කියන්නේ අසමත්. තාත්තා නම් ඒ ගැන නම් ගානක්වත් නැති විත්තියක් පෙන්නුවත් ඒක ගැන එයා හිත ඇතුලෙන් දුක් වෙන බව ඒ ළමයා දැනන් උන්නා…

 එදා රිසල්ට් බලන දවසේ ස්කෝලේ යාලුවෝත් ඒ ඉන්ටර්නෙට් කැෆේ එකටම ඇවිත් ලොකු උවමනාවෙන් එක් එක්කෙනාගේ රිසල්ට බැලුව විත්තියත් මේ ළමයා දැක්කා.. වැඩේ කියන්නේ 'ඕකීට හොඳ වැඩේ' කියන්න කට හදාගන ඉන්න කට්ටිය ගැන මතක් වුණාම ගලක් වගේ තිබ්බ කෙල්ලගේ හිත ඉටි ගුලියක් වගේ උණු වුනා. ගණන් ෆේල් කියලා දැනගත්තම අම්මා දුක් වෙන හැටි කට්ටක් වගේ හිත පසාරු කරගෙන ගියා...

 ඒවා මේවා අතර තුරේ යාන්තමින් ඔලුව උස්සගෙන එන රීජනල් රේඩියෝ කට්ටක මුල්ම සාමාජිකාව විදියට ඒ ගෑණු ළමයව සෑහෙන පිරිසක් අතරින් තේරුණා. ඒත් ගෙදර අය ඒකා ගැන තිබ්බ බලාපොරොත්තු අත ඇරගෙන තිබ්බේ….  ඕනාවට වඩා තියාගත්තු බලාපොරොත්තු සුන්නද් ධූලි වෙලාම ගිය නිසා.

 කොහොම හරි අර ණයට දෙන්නම් කියන විස්තරේ ඒකාගේ ස්කෝලේ තිබ්බ නිසා ඒලෙවල් ආර්ට් වලින් කරන්න ගත්තා.. 

 ආර්ට් වලින් ඉස්සරහට යන්න හිතන් හිටිය නිසා කොහොම හරි එස් එකක් දාගන්නවා කියලා හිතාගෙන ආයේ පාරක් ඒ කියන්නේ දෙවෙනි පාරටත් ඒ ළමයා ඕලෙවෙල් ලියනවා… 

 අර රේඩියෝ කට්ටේත් ස්කෝලෙන් පස්සේ සුදු ගවුම පිටින්ම ප්‍රෝග්‍රෑම් කරන්න යනවා… 

 සෑහෙන කළකිරීමෙන් ඉන්න අම්මා තමන් කිසිම වැඩකට නැති මුකුත් කරගන්න බැරි එකෙක් විදියට හැසිරෙන්න ගන්නවා…

 කොහොම හරි මාසයකට බර ගානක් වියදම් කරලා දෙවෙනි පාර ගණන් ලියන ඒ කෙල්ල අතීසාර්ථක විදියතට දෙවෙනි පාරත් ඇන ගන්නවා. (ඇන ගන්නවා කිව්වම කුප්ප කතා එහෙම හිතන්න එපා ඉතින්..) ගණන් දෙවෙනි පාරටත් ෆේල් වෙනවා…

සසර කළකිරීමට ලක් වෙන්න ගන්නේ.. ගණන් කියන්නේ කෙනෙක්ගේ ජිවිතේ මෙච්චර තීරණාත්මක දෙයක් කරන්න පුලුවන් දෙයක් වුනේ කොහොමද කියලා.. 

 හැබැයි… ඒ වෙනකොට මේ කෙල්ල අර පොඩි රේඩියෝ කට්ටේ පොඩි නමක් දිනාගෙන තමන් ගේ කට නිසාත් හිතලා මතලා දෙයක් කරගන්න පුලුවන් නිසාත් සහ අනිත් හැමෝම හිතන විදියෙන් පොඩ්ඩක් විතර වෙනස් විදියට හිතපු නිසා… පොඩි පඩියකුත් අතට ගත්ත (4500ක් විතර​) ඒකාගේ හිතට ගණන් නැතුව ඉස්සරහට යන්න බෑ කියන එක තදින්ම දැනුනා…
දෙවෙනි පාරටත් ගණන් ෆේල් වුණ ළමයෙක් දිහා බලන්නේ මොන විදියටද අන්න ඒ වගේ ඒ කෙල්ල දිහා හැමෝම බලන්න ගත්තා… මෙතනදි මේ ගෑණු ළමයට හිතුන දේවල් ගැන මම ලියන්න යන්නේ නෑ.මොකද කිව්වොත් කතාව දැනටමත් දිග වැඩි වෙලා නිසා.

 ලංකාවේ නීතිය අනුව දෙපාරකට වඩා පාසල හරහා ගණන් ලියන්න බෑ.ඉතින් මේ ළමයට ස්කෝලෙන් ඒලෙවෙල් කරන්න තිබ්බ චාන්ස් එකත් නැති වුණා. අපමණ ඇනුම් බැනුම් මැද්දේ කොහොම හරි මේ ළමයා අර රේඩියෝ එකෙත් වැඩ කරන ගමන් තුන් වෙනි පාරටත් ගණන් ලියන්න හිතුවා වගේම ඒලෙවෙල් ප්‍රයිවට් කරන්නත් හිතුවා… ඒත් ඒ වෙනකොටත් ඒ රේඩියෝ එකේ ප්‍රධාන වැඩ සටහන් කීපයක්ම මෙහෙයවුනේ මේ ළමයගේ අතින්… 

 රේඩියෝ එනවුන්සර් කෙනෙක් වෙන හීනයට ගණන් ඇති නැතිකම ලොකු දෙයක් වෙලා තිබ්බෙ නැති වුණත් ගණන් කියන්නේ ජිවිතයේ වැදගත්ම තැන් වලදි වැදගත්ම දේවල් තීරණය කරන ලොකු ටාස්ක් එකක් කියලා ඒ වෙනකොටත් ඒකා දැනන් හිටියා. ඉතින් ගේම අතාරින්න කෙල්ල කැමති වුණේම නෑ. 

 ගෙවල් වල අයගෙ නම් ලොකු කැමැත්තක් තිබ්බේ නෑ ඒකා ඉගෙන ගන්න එකට… අර ‘ගඟට කපන ඉනි’ තියෙන්නේ…  අන්න ඒ වගේ අදහසක් තමයි මේ ළමයාගේ ඉගෙනීම ගැන ගෙදර කට්ටියට ඉතින් තිබුණේ. හරියටම කිව්වොතින් 'කොච්චර කළත් ඔච්චර තමයි'​.

 කොහොමින් කොහොම හරි තුන් වෙනි පාරට ඕ ලෙවල් ගණනුත් ලියන ගමන් පළවෙනි පාර ඒ ලෙවල් ලියන්න මේ කෙල්ල 2009 දි වාඩි වෙනවා. මාස 6ක කාලයක් පාස් පේපර් වල පිහිටෙන් ඒලෙවෙල් ගොඩ දාගන්න පුලුවන් වෙනවා. කැම්පස් අක්කා කෙනෙක්ගේ මඟ පෙන්වීමෙනුයි, ලොජික් උගන්නපු කීර්තී සර්ගේ පිහිටෙනු යි. තාමත් ඉතින් මේ කෙල්ල අර රේඩියෝ එකේ වැඩ… එක අතකට රේඩියෝ රස්සාවෙන් ලැබුණ නිදහසත් මහා මෙරක්. ඒ වෙනකොටත් ඒකා ගෙදරින් ඉගෙන ගන්න බැරි මෝඩයා…

 කොහොම හරි 2010 අවුරුද්දේ මේ ළමයා එක පාරින් ඒලෙවෙල් පාස් වෙනවා..විශයන් තුනම නිකන්ම පාස් තුනක් නෙවෙයි.. සම්මාන තුනක් එක්ක​.. මදි තමයි.. ඒත් උත්සහය තමානේ ඉතින් වැදගත්…  තුන් වෙනි පාරටත් ලිව්ව ගණන් පේපර් එකත් යාන්තමට එස් එකකින් පාස් කර ගන්නවා… ඇති යන්තම්… ගණන් පාස්… ඊට වඩා සමරන්න දෙයක් ඒ වෙනකොට මේ ළමයගේ ජිවිතේ කිසිම දාක සිද්ධ වෙලා තිබ්බේ නෑ.

 එක එක කෝස් කරලා, අරවා කරලා, මෙව්වා කරලා… නම ගිය ෆයිනෑන්ස් කම්පනි එකක සේවින්ස් සයිඩ් එකෙන් අවුරුද්දක් වැඩ කරලා… ආයෙමත් තමන් ගේ හැකියාවට ගැළපෙන ජොබ් එකක් හම්බවෙන ඒ කෙල්ලට දැන් වයස 26ක්. කසාද එහෙම බැඳලා. ආයේ මේ පාර 4 වෙනි පාරටත් ගණන් පේපර් එක ලියන්නලු ඉන්නේ… සී එකකට යන්න ඕන නිසා… තව කැළණිය කැම්පස් එකේ උසස් ඩිප්ලොමා එකක් එහෙමත් කරනවලු… තව එක එක කෝස් අනම් මනම් කරන්න හිතාගෙන ඉන්නවලු...

 විභාග කියන්නේ ජිවිතේ නෙවෙයි  තමයි… ඒත් ජිවිතේ භාගෙට භාගයක් තීරණය කරෙන්නේ මේ විභාගයි කියන එක අමත​ක කරන්න එපා… වාසනාවකට අපේ රටේ තවම කී පාරක් කරලද විභාගේ පාස් වුණේ කියන එක නෙවෙයි වැදගත්… හුඟක් වෙලාවකට සමත් වීම තමයි වැදගත්. ගිය පාර අවුරුදු 73ක කාන්තාවක් ඕ ලෙවල් ලිව්වා. ඉතින් මිනිස්සු මැරෙනකම් ඉගෙන ගන්නවා.

 උත්සාහය වගේම කැපවීමත් අනිවාර්යයෙන් තියෙන්නම ඕනා ඕනම දෙයක් වෙනස් කරන්න​. තමන් ගේ දෛවය වුණත්, කවුරු හරි කම්මැලි කෙනෙක් කියනවා නම් තමන් ගේ මහන්සියේ ප්‍රථිපලයට ‘ඒක තමයි දෛවය’ කියලා, ඒ තමයි මේ ලෝකේ තියෙන හොඳම විහිලුව​.

-කලු මොණරි-

Saturday, 24 September 2016

මල් පැල

අදත් වේලපහ එනවද
සුලු දොහකි තව රකින්න
අම්මා ඇවිදින් දවසෙම
අදෝනා කට පුරාම

සරුම කාලවල මල් පිපේ
අපේ මල් පැළ තව හීනයේ
අනුන් වතු වල පිපි මල් සැලේ
නැන්දම්මගේ මූසල දුව කැලේ

සොඳුර අප කුළුදුල් හීනයේ
තව නැද්ද සුභ නිමිත්තක්...?
හීන දැකලම තුන් රැයේ
මගේ බණ්ඩිය බෝල වේ...

-කලු මොණරි-

Friday, 16 September 2016

ගෑණු කවි... පිරිමි කවි...

එය ගෑණු කවියක් ද... ?
පිරිමි කවියක් ද.. ?
සොයා යනු කුමට ද?

කවියක් යැයි...
නමක් දෙනු කුමට ද?

ජලය බොන්නන් එමටය
ගැහැණු ද 
පිරිමි ද
නරුමයින් ද 
විලාසිනියන් ද...

අකුරු උපදින්නේ 
කවියක්
විලස නොවය...
අපි එයට කවියක් නොකියමු...!

එය හැඟුම් පිටකරන
අපූරුතම වාන් දොරක් ය...

-කලු මොණරි-

Wednesday, 7 September 2016

ෆැන්ටසි


'මිනිස්සු 
උප්පත්තියෙන් ගේන සමහර දේවල්....
ප්‍රතිපත්තියකින් 
වෙනස් වෙන්නේ නෑ........'

'තනිකම කියන්නෙම 
බැඳීමෙන් පසුව එන දෙයක්....
බැඳිමක් කියන්නෙම 
තනිකම මකාලන විසක්....'

'සිහින කියන්නෙම 
නිදා නොනිදා දකින ෆැන්ටසියක්....
ෆැන්ටසියක් කියන්නෙම 
හිතම සනසන 
දයාබර සිහිනයක්.....'

'ජිවිතේ කියන්නෙම 
ප්‍රේමයෙන් පිරෙන්න ඕන දෙයක්...
ප්‍රේමය කියන්නෙ...
ගැඹුරින්ම 
උපදින්න 
ඕන දෙයක්.....'


Tuesday, 30 August 2016

හුස්ම... හුස්ම... හුස්ම...



මට ඕනා හුස්ම ගන්න...!


එහෙම නම් 

ඔයාට සිද්ධ වෙනවා
ජිවත් වෙන්න...

මට ඕනා ආදරේ කරන්න...!

එහෙම නම්
ඔයාට සිද්ධ වෙනවා

යුද්ධ කරන්න...

මට ඕනා මැරෙන්න...!

එහෙම නම්
ඔයාට සිද්ධ වෙනවා

ආදරේ කරන්න...

-කලු මොණරි-

Wednesday, 24 August 2016

පමාවෙන වසන්තය නුඹ

ගිමන් කළ හැර ගියද
මෙවර ආ වසත් සමේ
මල් පිපුණේ නැතිය තව
තවරන්න සුවඳ මගේ

දිවි මැදින් හමා ගිය 
හීන් සුළඟක අනේ
සුසුම් මම තැවරුවෙමි
කාටත් නොපෙනෙනෙ ලෙසේ

නිල් පාට විල් දියම 
කළඹා ගිය සිසිලසේ
දිය රැළි එකිනෙකට සිප
පෙරළිගෙන මැවු රටාවේ

ගලක් ගෙන වීසි කර
එය මකා නික්මුණේ
දුටුවා ද රැළි වල මගේ
ප්‍රේමයේ පණිවිඩේ.....

සැඳෑකල නික්මෙන්න
තව ටිකක් කල් තියේ.....
මම හෙමින් සුසුමන් තියන්නම්
එනතුරා වසන්තය අපේ.........

-කලු මොණරි-


Tuesday, 26 July 2016

ප්‍රේමයක් කියන්නේ

ප්‍රේමයක් කියන්නේ
අලුත් පිටුවක
අකුරු මතු වෙන එකට

පොහොට්ටු වුනු
මල් පොකුරක
පෙති දිග හැරෙන එකට

අත් ඇඟිලි පටලන්
රෑ අහසට දෙනෙත් යොමා
කවි ලියන එකට

කඩන් වැටෙන තරුවකින්
ගිණි පුපුරු
විසිරෙද්දි
බලාපොරොත්තු
රැස් කරන එකට

-කලු මොණරි-